
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ගත් කල එය වර්ෂයේ සෑම නිශ්චිත කාලවකවානුවක් තුළ ම ලැව්ගිනි ඇති වීමේ තර්ජනයට ලක් වේ. නමුත් පසු ගිය සතියේ කැලිෆෝනියාව මුහුණ දුන් ලැව්ගිනි තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව ලොව ම සලිත කරන්නට සමත් වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වයක් බවට පත්විය. ඇමරිකාවේ දෙවනුවට විශාල නගරය වන ලොස් ඇන්ජලීස් නගරය අවට පදිංචිකරුවන් ලක්ෂයකට අධික පිරිසකට සිය නිවෙස් ගින්නට අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වී යාමට සිදු වුණි.
මුලු කැලිෆෝනියාව ම ගිනිබත් කරමින් මේ වන විට ඇවිළෙමින් තිබෙන ලැව්ගිනි සංඛ්‍යාව පහකි. මේවා Palisades fire, Hurst fire, Lidia fire, Sunset fire සහ Eaton fire යනුවෙන් නම් කර ඇති අතර ලැව්ගිනිනෙන් මේ වන විට ආවරණය වී ඇති සමස්ත භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 29,000ක් පමණ වන බව වාර්තා වේ. මේ අතුරින් විශාලත ම ලැව් ගින්න වන Palisades (පැලිසේඩ්ස්) ගින්න නිසා පමණක් අක්කර 17,234ක භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇත.

පැලිසෙඩ්ස් (Palisades)
පළමු ගින්න ජනවාරි 7 වනදා වාර්තා වූ අතර එය කලාපයේ විශාලත ම ගින්න වන අතර ප්‍රාන්ත ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ගින්න බවට පත්විය. එය පැසිෆික් පැලිසේඩ්ස්හි යාබද ප්‍රදේශය ඇතුළුව අක්කර 17,200 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පැතිර ගොස් තිබේ.
ඊටන් (Eaton)
එය ඇල්ටඩෙනා ආදි නගර හරහා ලොස් ඇන්ජලීස්හි උතුරු කොටසේ පැතිර ඇත. එය අක්කර 10,600ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී ගොස් තිබුණි. එය දෙවැනි විශාලත ම ගින්නයි.
හර්ස්ට් (Hurst)
සැන් ෆර්නෑන්ඩෝ ප්‍රදේශයට උතුරින් අඟහරුවාදා රාත්‍රියේ ගින්න ආරම්භ වී ඇති අතර එය අක්කර 855 දක්වා වර්ධනය වී ඇත. නමුත් ගිනි නිවන භටයින් එය පාලනය කර ගැනීමට සමත් වී ඇත.
ලිඩියා (Lidia)
ලොස් ඇන්ජලීස්වලට උතුරින් පිහිටි කඳුකර ඇක්ටන් ප්‍රදේශයේ දී මෙම ගින්න බදාදා දහවල් ඇති වූ අතර අක්කර 350 කට ආසන්න ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබුණි. බලධාරීන් පවසන්නේ එය 40% ක් පාලනය කර ගැනීමට හැකි වූ බවයි.
සන්සෙට් (Sunset)
ගින්න බදාදා සවස හොලිවුඩ් හිල්ස් ප්‍රදේශයේ දී ආරම්භ වී ඇති අතර පැයකට අඩු කාලයක දී අක්කර 20 ක් දක්වා එය වර්ධනය වී ඇත. සමස්තයක් ලෙස අක්කර 43 කට අධික භූමි ප්‍රදේශයක් පුරා මෙම ගින්න පැතිර ගොස් තිබුණි.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි ලැව්ගිනි තත්ත්වය මෙතරම් දරුණු වීමට ප්‍රධානත ම හේතුව වන්නේ මෙම දිනවල කැලිෆෝනියාව හරහා හමා යන ‘සැන්ටා ඇනා’ හෙවත් ‘Santa Ana’ නමැති සුළං ප්‍රවාහයි. සෑම වසරක ම පාහේ සිසිල් මාසවල දී රට අභ්‍යන්තරයේ පිහිටි කාන්තාරය සිට පිටතට මෙම සුළං ප්‍රවාහ හමා යන අතර ඒවා පැයට සැතපුම් 80 - 100ත් අතර වේගයෙන් පමණ යුක්ත වේ. ඇනා සුළං ප්‍රවාහ හේතුවෙන් මුහුදට ආසන්න ගොඩබිම් කලාපයේ වාතය උණුසුම් වන අතර මුහුදු සුළඟ සමඟ ගොඩබිමට පැමිණෙන සිසිල් වාතය අවහිර වීම එමගින් සිදුවේ. ඉන් වාතයේ ආර්ද්‍රතාවය පහත හෙලෙන අතර ගිනි පැතිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වේ. සීඝ්‍රයෙන් පැතිරෙන මෙම ළැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මගින් ජලය හෙලීම සිදු කිරීමට උත්සහ කළත්, දැඩි සුළං ප්‍රවාහයන් සමඟ විටින් විට ගිනි කුණාටු තත්ත්වයක් ද ඇති වන බැවින් එය මුළුමනින් ම නිවා දැමීමට තරම් හැකියාවක් ලැබී නොමැත.
මේ අතර Eaton ගින්නෙන් සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් NASA ආයතනයට අයත් ප්‍රධානත ම රොබෝතික පර්යේෂණාගාරය වන ලොස් ඇන්ජලීස්, පැසඩීනාහි පිහිටි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය (Jet Propulsion Laboratory – JPL) තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති අතර හදිසි අවස්ථාවක දී අත්‍යාවශ්‍ය පුද්ගලයන් හැරුණු විට අන් සියලු දෙනා ඉන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.
කැලිෆෝනියාවේ ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 16ක් පමණ වන බව ගණනය කර ඇති අතර මෙම පිරිස අතරට ඊටන් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ 11 දෙනෙකු සහ පැලිසෙඩ් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ 05 දෙනෙකු ද අයත් වේ. එමෙන් ම තවත් පුද්ගලයින් 13 දෙනෙකු පමණ අතුරුදන් ව ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් බලධාරීන් පවසන්නේ ව්‍යසනයේ සැබෑ පුද්ගල මරණ සංඛ්‍යාව ගණනය කර ගැනීම පවතින තත්ත්වය මත ඉතා අපහසු කාර්යයක් වන බවයි. මන්ද ගින්නට හසු වූ ඇතැම් නිවාස සහ ගොඩනැඟිලි තුළ ද පුද්ගලයන් මිය ගොස් සිටිය හැකිය. JPMorgan Chase බැංකුවේ ඇස්තමේන්තු වාර්තාවන්ට අනුව මේ වන විට සිදු ව ඇති ආර්ථික පරිහානිය ඩොලර් බිලියන 50කට ආසන්න වන අතර, ගතවන මොහොතක් පාසා එය ඉහළ යමින් පවතින බව නොරහසකි.

කෙසේ වුවද, ඉදිරියේ දී පැයට කිලෝ මීටර් 70 ඉක්ම වූ වේගවත් සුළං ධාරා බලපැවැත්වෙන බවට අනුමාන කර ඇති අතර එසේ සිදුවුවහොත් ළැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වනු ඇති බව අපේක්ෂිත ය. මේ අතර ලොස් ඇන්ජලීස් ආසන්න වෙන්චුරා නගරාසන්නයේ අක්කර 5ක පමණ භූමියක් වනසමින් කුඩා ප්‍රමාණයේ ළැව්ගින්නක් ආරම්භ වී ඇත.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි