/
/
title icon
'CIDට ප්‍රකාශයක් දීමට පුළුවන්' මනූෂ නානායක්කාර අධිකරණයට දැනුම් දෙයි
'CIDට ප්‍රකාශයක් දීමට පුළුවන්' මනූෂ නානායක්කාර අධිකරණයට දැනුම් දෙයි
Presila Sandaruwani
1 month ago
Share:
'CIDට ප්‍රකාශයක් දීමට පුළුවන්' මනූෂ නානායක්කාර අධිකරණයට දැනුම් දෙයි

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 21 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට ශ්‍රමිකයින් යොමු කිරීමකට අදාළ  අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් මේ හරහා අපරාධමය වරදක් අනාවරණය වී තිබේදැයි විමර්ශන සිදුකරන බවත් එම නිලධාරියා සඳහන් කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේ වන විට ප්‍රකාශ 35ක් පමණ සටහන් කරගෙන තිබෙන බවත් ඔහු පැවසුවා.

මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනයේ නියුතු පුද්ගලයින්ගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව පෙත්සම්කාර මනුෂ නානායක්කාර මහතා මෙම අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම අවස්ථාවේ දී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වන කරුණු පරීක්ෂා කර බැලීමේ දී නිශ්චිත වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ආකාරයක් පෙනී නොයන අතර මොනයම් හෝ කරුණක් සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන ආකාරයක් පෙනී යන බවත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනු ඇතැයි මතු වූ බිය හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒත් මෙම අවස්ථාවේ දී තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බැවින් මීට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමට ද නියම වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required