
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන්.
මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර, තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා.