
පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත් භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීයි.
ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අනාවරණය කළා.
රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන් කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳවද මෙහිදී සැලකිල්ලට ගැණුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.