
මෙරට සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බව එම සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.
ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි වු බව ඔවුන් පවසනවා.
කෙසේ වෙතත්, අද ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්ත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බවට අනුමාන කරන බව එම සංගමය නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දෙනවා.