
මෙක්සිකෝ බොක්ක යනු මෙක්සිකෝව හා කියුබාව ඇතුළු රටවල් කිහිපයක් අතර බෙදා හදා ගන්නා ජාත්‍යන්තර ජල මාර්ගයකි. එය උතුරු ඇමරිකාවේ ගිනිකොන දෙසින් පිහිටා ඇති අර්ධවූත් සංවෘතවූත් මුහුදකි. උතුරින් එක්සත් ජනපදය, බටහිරින් සහ දකුණින් මෙක්සිකෝව සහ ගිනිකොන දෙසින් කියුබාව මායිම්ව පිහිටා ඇත. මෙය බොහෝ මත්ස්‍ය විශේෂ ඇතුළු විවිධ සාගර ජීවීන් ජීවත් වන ඉතා වැදගත් පරිසර පද්ධතියකි. දළ වශයෙන් වර්ග කිලෝමීටර මිලියන 1.5ක (වර්ග සැතපුම් 600,000) පමණ භූමි ප්‍රමාණයක් මින් ආවරණය වන අතර මෙය ලොව විශාලත ම ජල කඳන්ගෙන් එකක් ලෙස ද හැඳින් වේ.

මෙහි ආර්ථික වැදගත්කම ගත් කල ගල්ෆ් වෙරළ තීරයේ මසුන් ඇල්ලීම, නැව්ගත කිරීම සහ තෙල් හා ගෑස් නිස්සාරණය වැනි ප්‍රධාන කර්මාන්ත රැසක් සිදු කරනු ලබයි. මෙම මෙක්සිකෝ බොක්ක ඈත ඉතිහාසයේ සිට ම හඳුන්වා ඇත්තේ මේ නමින් වන අතර ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය දේශසීමාවේ මෙම කලාපයට අයත් මුහුදු ප්‍රදේශය එනම් අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය, 'ඇමරිකානු බොක්ක' නමින් නම් කිරීම සිදු කර ඇත. මෙම සිදුවීම පසුගිය සතිය පුරා විදේශ පුවත් තුළ මහත් කතාබහකට ලක් වූ පුවතක් විය.

එමෙන් ම ට්‍රම්ප් විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය "Gulf of America" එනම් "ඇමෙරිකානු ගල්ෆ් දිනය" ලෙස විශේෂ දිනයක් වශයෙන් නම් කර ඇත. ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහු විවිධ ආන්දෝලනාත්මක තීරණ රැසක් ගත් අතර මෙය ද එවැනි එකක් ලෙස අපට සැලකිය හැක. කෙසේ නමුත් ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තබා ඇත්තේ ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් පැවතිය දී ඒ තුළ සිටිමින් ය. මෙම නම් තැබීම පැහැදිලි කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙක්සිකෝ බොක්ක ලෙස නම් කර තිබූ කොටස ඈත අතීතයේ සිට ඇමෙරිකාවට මහත් සම්පතක් වූ බවත් එය ඇමෙරිකාව කොටසක් බවත් ය. ඒ හේතුවෙන් ඇමෙරිකාවට අයත් එම කොටස ඇමෙරිකා බොක්ක ලෙස නම් කිරීමට තීරණය කළ බවයි. එමෙන් ම කොංග්‍රස් මන්ත්‍රීනී මාජරී ටේලර් ග්‍රීන් පවසා ඇත්තේ එක්සත් ජනපදය සමුද්‍රීය ජල මාර්ග ආරක්ෂා කිරීමට වැඩි වියදමක් දරන බැවින් එය ඇමරිකානු බොක්ක ලෙස හැඳින්විය යුතු බවයි. ඒ අනුව "ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන නම් ප්‍රතිෂ්ඨාපනය කිරීම” (විධායක නියෝගය 14172) යන මාතෘකාවෙන් යුත් නියෝගයට අනුව දින 30 ක් තුළ විධිමත් ලෙස එය රට තුළ ක්‍රියාත්මක කරන්න යැයි එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු ලේකම්වරයාට ජනපති ට්‍රම්ප් උපදෙස් ලබා දී ඇත. එක්සත් ජනපදයට තම භූමි ප්‍රදේශය තුළ පිහිටි ස්ථාන නම් කිරීමේ අයිතිය තිබුණ ද ජාත්‍යන්තර ජල මාර්ගයක නම වෙනස් කිරීම සම්බන්ධයෙන් නම් මතුව ඇත්තේ ගැටලුවකි.

නමුත් ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපයට විරුද්ධ මතයක් මෙක්සිකෝව දරන බව ද වාර්තා වේ. එනම් ඇමරිකාව විසින් මෙක්සිකෝ බොක්ක මෙලෙස ඒකපාර්ශ්විකව නම් කරන බවට චෝදනා කරමින් තම රජය ඇමරිකාවේ Google සමාගමට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට සූදානම් බව මෙක්සිකෝ ජනාධිපතිනි Claudia Sheinbaum Pardo මහත්මිය ප්‍රකාශ කළා ය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයට අනුව “ඇමරිකානු බොක්ක” යන නම ඇමරිකානු මහාද්වීපයට අයත් මුහුදු කලාපයේ පමණක් භාවිත කරනු ඇති. නමුත් Google සමාගම කිසිදු අවසරයකින් තොරව මෙක්සිකෝ මහාද්වීපික තටාකය හා මෙක්සිකෝ බොක්කයේ මුහුදු කලාපය දක්වා එම නාමය යොදා ගැනෙන පරාසය පුළුල් කර ඇත. පෙබරවාරි 13 වන දින පැවැති මාධ්‍ය හමුවක දී මෙක්සිකෝ ජනාධිපතිනි ප්‍රකාශ කර ඇත්තේ Google සමාගම එලෙස නම වෙනස් කිරීම “මෙක්සිකෝවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” බවයි. එමෙන් ම මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ ඇමරිකා-මෙක්සිකෝ ද්විපාර්ශ්වික ගිවිසුම් නොසලකා හැරීමක් බව ද ඇය අවධාරණය කළාය.
ගූගල් සිතියම් සේවාව එක්සත් ජනපදය තුළ ඇමරිකානු බොක්ක ලෙස මෙම වෙනස පෙන්නුම් කරනු දැකිය හැකි අතර එක්සත් ජනපදයෙන් පිටත ගූගල් සිතියම්වල මෙක්සිකෝ බොක්ක (ඇමරිකානු බොක්ක) ලෙස හෝ මෙක්සිකෝ බොක්ක ලෙස පමණක් නම් කර ඇති බව පෙනෙයි. ඇපල් සිතියම්වල නම් තවමත් "මෙක්සිකෝ බොක්ක" ලෙස එය පෙන්වනු දැකිය හැක.
කෙසේ වෙතත් මෙම නම් වෙනස්කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇති බව නම් නොරහසකි. මෙම නම් වෙනස්කිරීම හේතුවෙන් ඇමරිකාව, මෙක්සිකෝව සමඟ ඇති වෙළඳ හා ආර්ථික සහයෝගීතාවයන්ට යම් බලපෑම් ඇති කළ හැකි බව විද්වත් මතයයි. එමෙන් ම සංචාරක කර්මාන්තය හා ව්‍යාපාරික කටයුතුවල වියවුල් සහගත තත්ත්වයක් මින් ඇති විය හැකි බව ද අනුමාන කෙරෙයි. එපමණක් නොව සිතියම්, සංඥා, පුවරු හා නිල ලේඛන වෙනස් කිරීමේ පිරිවැය එරට රජයට හා ව්‍යාපාරවලට විඳ දරා ගැනීමට ද සිදු වනු ඇත. "මෙක්සිකෝ බොක්ක" යන නම සඳහන් වන දැනට ක්‍රියාත්මක ගිවිසුම් හා එකඟතා සියල්ල යාවත්කාලීන කිරීමට සිදුවීම නිසා නීතිමය හා පරිපාලන වියදම් ද ඇති වනු ඇත. මෙම වෙනස්කිරීම සම්බන්ධව බොහෝ පිරිස් දක්වන්නේ ඍණාත්මක අදහස් ය.

ඔවුහු මෙම නම් වෙනස්කිරීම අසාධාරණ හා හාස්‍යජනක ලෙස දකිති. සමහරු ගූගල් සිතියම් වෙනුවට ඇපල් සිතියම් භාවිතා කිරීමට සැලසුම් කරති. තවත් සමහරු මෙය ගූගල් සිතියම්වල දෝෂයක් ලෙස වාර්තා කිරීමට යෝජනා කරති. මෙය ඇමරිකාවේ ආධිපත්‍යය තහවුරු කිරීමේ දේශපාලන ක්‍රියාවක් ලෙස සමහරු දකිති. එක්සත් ජනපදය පිහිටුවීමටත් පෙර සිට ම මෙක්සිකෝ බොක්ක යන නාමය භාවිතා වූ බැවින් මෙම වෙනස විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවල ජනතාව අපහාසයක් ලෙස සලකන බව ප්‍රකාශ කර ඇත.
ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වය ඇගයීම සඳහා සිදු කර ඇති මෙම වෙනස ඉදිරියේ දී ජාත්‍යන්තර සබඳතා, වෙළඳාම, සංචාරක කර්මාන්තය මෙන් ම නාවික ගමනාගමනය වැනි ක්ෂේත්‍රවලට කෙසේ බලපානු ඇතිදැයි යන්න තීරණාත්මක වේ.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි