
අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ කෙසෙල්බද්දර පද්මේගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකර ඇති බවයි.
සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව පසුගිය 19 වනදා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුව තුළදි ඝාතනයට ලක්වුණා.
ඝාතනය සිදුකළ වෙඩික්කරු පලා යමින් සිටියදී එදිනම අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම - පාලවිය ප්‍රදේශයේදීයි.
ඔහු පලා යාමට භාවිත කළ වෑන් රථයේ රියදුරුද එහිදී අත්අඩංගුවට ගැනුණා.
වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඔහු හා ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන ආ කාන්තාව පසුගිය 17 වෙනිදා කඩුවෙල පිහිටි ලැගුම්හලක් වෙත පැමිණි බවයි.
එහි ලැඟුම්ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩික්කරුට හා අදාළ කාන්තාවට පාර්සලයක් ලබාදී පිටව ගොස් තිබෙනවා.
එම පාර්සලයේ වෙඩික්කරු හැඳ සිටි නීතීඥ ඇඳුම ඇතුළු භාණ්ඩ කිහිපයක් තිබී ඇති බව පොලිසිය අනාවරණ කරගෙන ඇති අතර, අනතුරුව වෙඩික්කරු හා අනෙක් කාන්තාව ඝාතනය සිදු වූ දින උදෑසන ඔවුන්ට පාර්සලය දුන් පුද්ගලයා විසින් හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයකින් අලුත්කඩේ අධිකරණය අසලට රැගෙන විත් ඇති බව සඳහන්.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ මෝටර් රථය සිය භාරයට ගනු ලැබුවා.
එමෙන්ම අදාළ කාන්තාව සමග ඝාතනයට පෙර සහ පසුව සබඳතා පවත්වන ලද මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියා මාර්තු මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය අවසර දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය ලබාදුන් අතර, මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.