/
/
title icon
Global Eye - BRICS රටවල් සමඟ ගැටෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Global Eye - BRICS රටවල් සමඟ ගැටෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Presila Sandaruwani
5 days ago
Share:
Global Eye - BRICS රටවල් සමඟ ගැටෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

පසු ගිය සතියේ ලෝකයේ බහුලව ම කතා බහට ලක් වූ ප්‍රවෘතියක් වූයේ අගමැති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 21 වනදා ප්‍රකාශ කර ලද අභියෝගාත්මක ප්‍රකාශය පිළිබඳවයි. එනම් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන BRICS රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කිරීමට කටයුතු කරන බවයි. එම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය, "BRICS රටවල් අපේ ඩොලරය විනාශ කරන්න උත්සාහ කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න. සමහරවිට චීනයේ යුවාන් භාවිත කරන්න වෙන්න ඇති. ඩොලරය විනාශ කරන්න කතා කරන ඕනෑම BRICS රටකට 150% තීරුබදු පනවනවා. අපිට ඔවුන්ගේ භාණ්ඩ ඕන නැහැ." ලෙස මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම සතියේ ලිපිය දිග හැරෙන්නේ මෙම BRICS රටවල් හා මෙම මුදල් ඒකක සම්බන්ධ තොරතුරු පිළිබඳවයි.

 

BRICS ඉතිහාසය

1b37745317576fc006fa856b05e77e02.jpg

BRICS යනු බ්‍රසීලය (Brazil), රුසියාව (Russia), ඉන්දියාව (India), චීනය (China) සහ දකුණු අප්‍රිකාව (South Africa) යන රටවල් ඇතුළත් වන පරිදි එම රටවල්වල මුල් ඉංග්‍රීසි අකුරු එකතු කරමින් නිර්මාණය කරගත් කෙටි යෙදුමකි. 2001 වසරේ දී ගෝල්ඩ්මන් සැක්ස් නමැති ආයෝජන බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජිම් ඕ'නීල් විසින් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සඳහා "Bric" යන කෙටි යෙදුම නිර්මාණය කළේ ය. පළමු BRICS රාජ්‍ය නායක හමුව පැවැතියේ රුසියාවේ යෙකැතරින්බූර්ග් නගරයේ දී ය. දකුණු අප්‍රිකාව 2010 වසරේ දී මෙහි සාමාජිකත්වය ලබාගත් අතර එතෙක් “BRIC” ලෙස හැඳින්වූ මෙම සාමුහිකය “BRICS” යනුවෙන් හඳුන්වන ලදි. මෙම රටවල් එකල සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් තිබූ විශාල, මධ්‍යම ආදායම් ලබන රටවල් වූ අතර ඒ අනුව වර්ෂ 2050 වන විට මෙම රටවල් ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍යය තහවුරු කරනු ඇති බවට ද අනාවැකි පළව තිබේ. 

 

BRICS සමූහයේ අරමුණ ලෙස දැකිය හැකි වන්නේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බැලීම හා නැගී එන ආර්ථිකයන් සඳහා වඩා වැඩි නියෝජනයක් ඇති කිරීමයි. කෙසේ වෙතත් BRICS යනු කාලයත් සමඟ විකාශය වූ සංවිධානයක් ලෙස සැලකිය හැකි අතර සාමාජික නීතිරීති විරහිත මිතුරු එකමුතුවක ස්වභාවයකින් ආරම්භ කර කෙමෙන් කෙමෙන් ආයතනගත වීම සිදු වී ඇත. එමෙන් ම තවත් BRICS සංවිධානයට අනුබද්ධිත ආයතන කිහිපයක් ද කෙමෙන් වැඩිදියුණු වීමත් සමඟ මෙම එකමුතුව ආයතන ගත වීම සිදු විය. වර්ෂ 2014 දී බ්‍රික්ස් රටවල් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 250ක අරමුදලක් ඇතිව නව සංවර්ධන බැංකුව (NBD) පිහිටුවන ලද අතර එහි අරමුණ වූයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නැගී එන රටවල් සඳහා ණය පහසුකම් යටතේ මුදල් ලබා දීමයි.

0587508032242dd51865574b7815bb77.jpg

 

ආර්ථික ශක්තිය

BRICS ප්‍රධාන රටවල් පහෙන් දැවැන්ත ම ආර්ථිකයට හිමිකම් කියනුයේ චීනයයි. 2021 දී එරට දළ දේශීය නිශ්පාදිතය ඩොලර් ට්‍රිලියන 16.86 ක් විය. රටවල් පහේ ම ආර්ථිකයන් එක් වූ විට මෙම අගය ඩොලර් ට්‍රිලියන 27 ඉක්මවා යන අතර එය ඇමරිකානු ආර්ථිකයට වඩා ස්වල්ප වශයෙන් වැඩි වූ අගයක් වේ. එමෙන් ම ඉන්දියාව තවදුරටත් සිය ආර්ථිකය ප්‍රසාරණය කිරීම කෙරෙහි විශාල වැඩපිළිවෙළක් සිදු කරන බව ද ගෝලීය වශයෙන් ඔවුන් තබන විවිධ පියවරයන් ඔස්සේ අපට දැකගත හැකි වේ. 

 

සෞදි අරාබි රාජ්‍යය ද මෙම BRICS රටවල් කාණ්ඩයට එක් වුවහොත් එම කාණ්ඩයේ ආර්ථිකය තවත් ශක්තිමත් වනු ඇති බව නොරහසකි. සෞදි අරාබිය සහ රුසියාව තෙල් නිශ්පාදනය කරන කණ්ඩායමේ වැදගත්ම සාමාජිකයන් වන බැවින් ඒ අනුව වර්තමාන ලෝකයේ බලශක්ති ප්‍රභවයන් අතුරින් විශාල කොටසක් BRICS වෙත හිමිවනු ඇත. එමෙන් ම අපට නිරීක්ෂණය කළ හැකි තවත් කරුණක් වන්නේ BRICS රටවල් අනාගත ලෝක තත්ත්වයන් පිළිබඳ විශාල අවධානයකින් පසුවන බවයි. චීනය සහ රුසියාව පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම රත්‍රන් මිලදී ගැනීම ඉහළ නංවා තිබුණි. එමෙන් ම අනාගත බලශක්ති ප්‍රභවයන්ට සහ සන්නිවේදන උපකරණ​, විදුලි වාහන ආදියට අත්‍යවශ්‍ය වන විරල පාංශු ලෝහ සැපයුම් දාමවලින් වැඩි කොටසක අයිතිය මේ වනවිට ද රැඳී ඇත්තේ චීනය අතැතිව ය. ලෝකයේ ලිතියම් නිධිවලින් ද විශාල කොටසක හිමිකාරිත්වය ද චීනය සතු වේ. අනාගතයේ චීනය සහ රුසියාව ප්‍රමුඛව හඳුන්වා දෙන සංචිත මුදල් ඒකකය රත්‍රන් සහ විරල පාංශු ලෝහ මත වටිනාකම තැබූ මුදල් ඒකකයක් වනු ඇති බවට ද ප්‍රචාරයන් පවති. 

f5bf51fc751f042741dd9e00b63f7ec7.jpg

කෙසේ වෙතත් ලෝක නිෂ්පාදන ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ මේ වනවිට චීනයෙහි කේන්ද්‍ර වී තිබේ. ඔවුන් සිය නැව්ස මාගම්වල කටයුතුද පුළුල් කරගනිමින් සිටියි. නවීන සන්නිවේදන උපකරණ සඳහා අවශ්‍ය ලිතියම් සහ බැර ලෝහ සම්පත් සැපයුම්දාමද වැඩි වශයෙන් පාලනය කරන්නේ චීනය ය. රුසියාව සහ ඉරානය සතුව සැලකිය යුතු ඛනිජ තෙල් සම්පතක් ඇති අතර සෞදි අරාබියද BRICS එකමුතුවට එක් වුවහොත් ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු සම්පතෙන් විශාල කොටසක් BRICS රටවල් අත පවතිනු ඇත. මේ අනුව බටහිර අතික්‍රමණය කිරීම කෙසේ වෙතත් ඊට විකල්පයක් විය හැකි බලවේගයක් BRICS වටා ගොඩනැඟෙමින් තිබේ.

 

2024 BRICS සමුළුව

දහසය වැනි BRICS රාජ්‍ය නායක සමුළුව රුසියාවේ කසාන් නගරයෙහි දී ඔක්තෝබර් මස 22-24 යන දිනයන්හි දී පැවැත්විණි. මෙම සමුළුව සඳහා නව සාමාජික රටවල් වූ ඉතියෝපියාව, එක්සත් අරාබි එමීර්, ඉරානය සහ ඊජිප්තුව යන රටවල නායකයන් ද සහභාගීත්වය දක්වා තිබුණි. ඒ අනුව වර්තමානයේ BRICS එකමුතුව සඳහා රටවල් 9ක් සහභාගීත්වය දරයි. එමෙන් ම තවත් රටවල් ගණනාවක නායකයෝ ද ආරාධනාවන් පරිදි ඊට එක්ව සිටියහ. 

 

අලුත් මුදල් ඒකකයක්

ඩොලරයට විකල්ප මුදල් ඒකකයක් හඳුන්වාදීම පිළිබඳ යෝජනාවක් කලක පටන් ම පැවැතුණි. වර්ෂ 2009 දී එවකට රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදේව් විසින් නව මුදල් ඒකකයක් පිළිබඳ යෝජනාවක් ගෙන ආ අතර ඒ වන විට බටහිර රටවල් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටි හෙයින් ඒ පිළිබඳ යම් කතිකාවතක් ඇති වුව ද එය සාර්ථක නොවුණි. නැවත 2014 වසරේ දී සංවිධානයේ බැංකුව (වර්තමානයේ නව සංවර්ධන බැංකුව) ස්ථාපිත කරන විට එවකට බ්‍රසීල ජනාධිපතිණිය වූ ඩිල්මා රූසෙෆ් ද නව මුදල් ඒකකයක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළ නමුත් බ්‍රසීලයේ මතු වූ දේශපාලන ව්‍යාකූලත්වය සමග එම යෝජනාව ද යටපත් විය. 

 

වර්ෂ 2022 - 2023 දී නැවත මෙම කතිකාවත කරලියට පැමිණියේ රුසියාවට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක හේතුවෙනි. බටහිර රටවල් බලාපොරොත්තු වූයේ එම සම්බාධක හේතුවෙන් රුසියාව කඩිනමින් ඇදවැටෙනු ඇති බවයි. රුසියාවට ඩොලර්, යූරෝ, යෙන් ආදි මුදල් ඒකකවලින් ගනුදෙනු කළ නොහැකි තත්ත්වයක් ඇති කරන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වරක් ශපථ කළේ ය. කෙසේ වෙතත් රුසියාව සිය ප්‍රධාන වෙළඳ සහකරුවන් සමග ඒ ඒ රටවල මුදල්වලින් ගනුදෙනු කිරීමට පටන් ගැනීම හේතුවෙන් එම සීමාවන් ඉක්මවා යාමට ඔවුනට හැකි විය. ඒ අනුව චීනය සහ ඉන්දියාව සමග ගනුදෙනුවල දී සිය රටවල දේශීය මුදල් ඒකක භාවිතා කිරීමේ ක්‍රියාමාර්ගයකට රුසියාව පිවිසුණි.

906d086dc31ff8a1ef0f32d5b8568cc0.jpg

වර්ෂ 2024 BRICS රාජ්‍ය නායක සමුළුවේ දී පුටින් ද ආදර්ශ මුදල් නෝට්ටුවක් ප්‍රදර්ශනය කරමින් මේ සාකච්ඡාව යළි ඇති කළේය. නමුත් මේ පිළිබඳවද මූලික එකඟතාවක් හෝ මෙතෙක් ඇති වී නොමැත. ඩොලරයට විකල්පයක් වන අන්තර්ජාතික මුදල් ඒකකයක් හඳුන්වාදීම පහසු කාර්යයක් නොවන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. එය ලෝකය පුරා හුවමාරු මුදල් ඒකකයක් ලෙස පිළිගන්නා එකක් විය යුතු වන අතර අද වනවිට චීන යුවාන් මුදල් ඒකකයට පවා හුවමාරු මුදල් ඒකකයක් ලෙස ඇති පිළිගැනීම සීමා සහිත වී ඇත.

 

තවමත් වත්මන් ලෝකයේ අන්තර්ජාතික ගනුදෙනුවලින් අඩක් පමණ සිදු කරනු ලබන්නේ ඩොලර්වලිනි. එමෙන් ම ලෝකයේ බැංකු කටයුතු ද, නැව් කටයුතු ද, ඊට අවශ්‍ය රක්ෂණ සමාගම් ද බහුතරය ඇත්තේ බටහිර රටවල පාලනය යටතේ ය. එහෙයින් බටහිර වෙළෙඳ ආධිපත්‍යය සඳහා විකල්පයක් ගොඩනැඟීම එතරම් පහසු කර්තව්‍යයක් නොවනු ඇති. 

 

BRICS රටවල් අතර පවතින ඒකාබද්ධතාව උදෙසා නව මුදල් ඒකකයක් හඳුන්වා දීමේ විවිධ වූ සංස්කෘතීන් හා වෙන ම ම වූ වෙනස්කම් රාශියක් පවතින චීනය සහ ඉන්දියාව වැනි රටවල්වලට සැලකියයුතු බලපෑමක් මින් සිදු විය හැකි ය. එහෙයින් එම අර්බුද නිරාකරණය කරගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම පියවර තව දුරටත් ප්‍රමාද වී ඇති බැව් අපට නිගමනය කළ හැක. එමෙන් ම එය අනාගත සැලසුම් උදෙසා ද වැදගත් වනු ඇත. අනෙක් අතට නව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්නේ නම් එයට පිළිගැනීමක් ගොඩනගාගැනීම ද අභියෝගයක් වේ. විශ්ලේෂක මතයන් අනුව ඇතැම්විට සංවිධානයේ නව සංවර්ධන බැංකුව මෙම නව මුදල් ඒකකයක් හඳුන්වාදීම උදෙසා මූලිකත්වය ගනු ඇත. මෙම පියවර පිළිබඳව ලෝකය දැනුවත් කළ නමුත් ඒ සඳහා නිසි පියවර තැබීමක් ඔවුන් කර ඇත් බවක් දැඩි කතාබහට ලක් වූ වසර දෙකක් අවසානයේ වුව අපට දැකගැනීමට නොහැකි වේ. පළමුව ඩොලර් ගනුදෙනු අඩු කිරීම සහ පසුව ඩිජිටල් යුවාන්, ඩිජිටල් රූබල්, ඩිජිටල් ඉන්දියානු රුපියල් ආදී මුදල් හඳුන්වාදීම වැනි පියවර අනුගමනය කරනු ඇති බව නිගමනය කර තිබේ. නව මුදල් ඒකකයක් හඳුන්වා දීමෙන් තොරව වුවද ඩොලර් ගනුදෙනු අඩු කිරීමට මෙමගින් යම් පෙළඹවීමක් ඇතිකළ හැකිය.

c4da0a6976a77322e93535daa83937e9.jpg

බලයට පත්වීමෙන් පසු ලොව ම කළඹවන තීන්දු තීරණ ස්ථාපිත කළ ඇමරිකානු නව ජනාධිපතිගේ මෙම ප්‍රකාශය ලෝක ආර්ථිකය කුමන දිශාවකට හරවනු ඇතිදැයි ලොව ම සෙවිල්ලෙන් පසු වන බව විශ්වාස ය. මන්ද ආර්ථික බලවතුන්ගේ විවිධාකාර ඝට්ටනයන් හේතුවෙන් සෑම විට ම පීඩාවට පත් වන්නේ සාමාන්‍ය රට වැසියන් ය. එබැවින් සාමකාමි වාතාවරණයක් අපි ද මෙහි දී අපේක්ෂා කරමු.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required