
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති හමුවේ දී මෙම එකඟතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ජපාන රජය මෑතක දී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බව ද ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා පවසා තිබෙනවා.
යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳව ද මෙහි දී සඳහන්ව තිබෙනවා.
ඒ අනුව එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපොළ ආයෝජනයන්හි වර්තමාන තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා සිදු කෙරුණු බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
එමෙන් ම නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසට ද ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කර තිබෙනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු උපදේශක අචාර්ය දුමින්ද හුලන්ගමුව, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ආර්ථික සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී ඔහාෂි කෙන්ජි (Ohashi Kenji), ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී මුරතා ෂිනිචි (Murata Shinichi) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූවා.