
පාරිභෝගික අධිකාරිය මගින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ඉක්මවා ඇතැම් වෙළෙඳුන් විසින් කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීමටත් සඟවා තැබීමත් සම්බන්ධව පැමිණිලි ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම පාලන මිල අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 260ක් වන බැවින් එම මිලට අලෙවි කළ හැකි සැපයුම්කරුවන්ගෙන් පමණක් සහල් මිල දී ගන්නා ලෙස ද, එලෙස ලබා ගත් භාණ්ඩ සැපයුම්කරුවන් විසින් ලබාදෙන බිල්පත තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය බව ද එම අධිකාරිය දන්වා සිටිනවා.
එමෙන් ම සැපයුම්කරුවන් සහල් ලබාදීමේ දි වැඩිපුර මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ සම්බන්ධව වන තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකතන අංකය වන 1977 වෙත කාර්යාලයීය වේලාවන් තුළ ලබාදීමට කටයුතු කරන ලෙස ද එම අධිකාරිය නිවේදනය කරනවා.
දිවයින පුරා සිදු කරන වැටලීම්වලට අමතරව ඊයේ දින තලවතුගොඩ, හංවැල්ල සහ කඩුවෙල ප්‍රදේශවල සිදුකරන ලද විශේෂ වැටලීම්වල දී සහල් සම්බන්ධව වැටලීම් 10 ක් සිදු කර තිබෙනවා.
එහි දී කීරි සම්බා වැඩි මිලට අලෙවිකිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම සහ සගවා තබාගැනීම සිදු කරන ලද වෙළදුන් 7 දෙනෙකු සදහාත්, නාඩු සහල් වැඩි මිලට අලෙවි කිරීමත්, මිල ප්‍රදර්ශනය නොකිරීමත් සම්බන්ධව වෙළදුන් තිදෙනෙකුටත් එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා සහල් වැටලීම් 1,400 ක් පමණ සිදුකර ඇති අතර සහල් වැඩි මිලට අලෙවිකිරීම සම්බන්ධව වැටලීම් 400 කට වැඩි ප්‍රමාණයක් ද සිදුකර ඇති බවයි.
සහල් වැඩි මිලට අලෙවිකරණ තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරහිව නඩු පැවරීමෙන් පසුව වරදකරු වුවහොත් රුපියල් 100,000 - 500,00 අතර දඩමුදලක් හෝ මාස හයක සිර දඩුවම් නියම කිරීමටත් හෝ එම දෙක ම නියම කිරීමටත්, පුද්ගලික සමාගමකට රුපියල් 500,00 - 5,000,000 දඩ මුදලක් නියම කිරීමටත්, සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙක ම මෙන් ම අදාළ භාණ්ඩ තොගය රාජ සන්තක කිරීමට ද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බව ද එම අධිකාරිය දන්වා සිටියි.
දෙවනවර සිදුකරන වරදක දී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත්, වසරක කාලයක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවත් එම අධිකාරිය තවදුරටත් සඳහන් කළා.