/
/
title icon
Global Eye - මුළු ජපානය ම අනතුරේ - දැවැන්ත භූකම්පනයක අනාවැකියක්
Global Eye - මුළු ජපානය ම අනතුරේ - දැවැන්ත භූකම්පනයක අනාවැකියක්
Presila Sandaruwani
2 weeks ago
Share:
Global Eye - මුළු ජපානය ම අනතුරේ - දැවැන්ත භූකම්පනයක අනාවැකියක්

ඉදිරියේ දී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8-9ත් අතර අගයක් ගත හැකි බව ද එම වාර්තාවල සඳහන්ය. ජපාන රාජ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ 80%ක් බවය. එමෙන් ම මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර ඇත. මේ වන විට ජපානයේ මෙන් ම ලෝකයේ ම අවධානය මෙම අනාගත ඛේදවාචකය කෙරෙහි යොමු වී ඇත. අද Global Eye විශේෂාංගය තුළින් වාර්තා කරනුයේ ඒ පිළිබඳවයි.

 

ලොව ප්‍රභල රාජ්‍යයක් වන ජපානයේ පිහිටීම සලකන කල්හි එය, පැසිපික් සාගරයේ නැගෙනහිර දෙසින් ද, බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව නැගෙනහිර ආසියා මහද්වීපයේ පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. ජපානය හො‍න්ෂු, හොක්කයිඩෝ, කියූෂූ, ෂිකෝකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් 400කින් පමණ සමන්විත වේ. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. වර්ෂ 2023 දත්ත අනුව ජපන් ජන ගහනය මිලියන 124.5 ක් පමණ වේ. ලොව ප්‍රධාන පෙළේ කර්මාන්ත රැසකට හිමිකම් කියන ජපානය මෝටර් රථ, රොබෝ තාක්ෂණය, ගුවන් යානා නිපදවීම මෙන් ම තොරතුරු තාක්ෂණය සහ සේවා අංශ මගින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත් වූ රටකි. ඒ අනුව 2024 සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 2.2%කින් ඉහළට රැගෙන යාමට ද ඔවුන් සමත් වී ඇත. 

1ccc0abd4bedbc702182cd1d952b0c67.jpg

භූ විද්‍යාත්මකව සලකන කල්හි ජපානය, ලෝක ගෝලයේ භූතල හතරක් එනම් චීන, උතුරු ඇමරිකානු, පිලිපීන හා පැසිපික් යන භූ තැටි අතර පිහිටි රටකි. මෙම භූතැටි චලනය වීමෙන් හට ගැනෙන ගැටීම හරහා ඇති වන භූකම්පනවලින් නිතර ම ජපානයට ස්වාභාවික අනතුරුවලට මුහුණ දීමට සිදු වේ. එලෙස සිදු වූ ප්‍රභල භූමිකම්පා අතරින් වර්ෂ 1703 දී ජීවිත​ 150000ක් අහිමි විය. එමෙන් ම 1855 දී ජීවිත​ 20000ක් පමණ ද, 1923 දී ජීවිත​ 99000ක් පමණ ද, 2011 දී ජීවිත​ 15890ක් පමණ ද එරටට අහිමි විය. මේ අනතුර නිසා ම හටගත් සුනාමි තත්ත්වයක් නිසා න්‍යෂ්ඨික බලාගාරයක් වන ෆුකුෂිමා බලාගාරය ද විනාශයට පත් විය. මෙම සුවිසල් භූමිකම්පා සෑම වසර සියයකට වරක් හෝ බොහෝ විට යුගල වශයෙන් ද සිදු වන බව හඳුනා ගෙන තිබේ. 

ජපානයේ නයෝගා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයක් අනුව ජපානයට දැවැන්ත භූමිකම්පනයක් සිදුවන බව අනාවරණය කර ඇත. මෙම වාර්තාව ජපානයේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට ලබා දීම සිදු කර ඇති අතර එම වාර්තාවට අනුව ඉදිරියේ දී සිදු විය හැකි යැයි අපේක්ෂිත අනාවැකි රැසක් අනාවරණය වී ඇත. ජපානයට කිලෝමීටර් 700ක් දකුණු දිගින් පිහිටි ශාන්තිකර පැසිපික් මුහුදු කලාපයේ නන්කායි භූ තැටිය ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදු වන බවත්, කිලෝමීටර් 900ක් දිග එම සාගර අගලේ රික්ටර් මාපක 8-9 අතර දරුණු ගනයේ භූ කම්පනයක් සිදුවිය හැකි බවත්, ඒ හරහා සිදුවිය හැකි සුනාමි තත්ත්වය මත ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් රටවල් කිහිපයකට ම දැවැන්ත හානියක් සිදු විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. පර්යේෂකයන්ගේ අනතුරු ඇඟවීම් අනුව ජපානයට ඇති විය හැකි මෙම දැවැන්ත භූමිකම්පාවේ අගය රික්ටර් මාපක ඒකක 9 වශයෙන් සටහන් වුවහොත් ජපානයේ ජන ගහනයෙන් දස ලක්ෂයකට වැඩි පිරිසක් ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කර ගැනීමට සිදු වනු ඇත. එමෙන් ම මෙම භූ කම්පනයෙන් සිදු විය හැකි ගොඩනැගිලි කඩා වැටීම් හා සුනාමි තත්ත්වය හේතුවෙන් ලක්‍ෂ තුනකට ආසන්න පිරිසක් මිය යෑමේ අවදානමක් පවතින බවත්, නමලක්‍ෂ පනස්දාහකට පමණ තුවාල සිදුවිය හැකි බවත්, නිවාස ලක්ෂ 25කට ආසන සංඛ්‍යාවක් විනාශ විය හැකි බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත. ටෝකියෝ හා ඔසාකා යන ජනාකීර්ණ නගර ඇතුළු නගර 764ට මෙම භූකම්පනයෙන් සෘජු බලපෑම් ඇතිවිය හැකි බවත්, විශාලත ම මරණ සංඛ්‍යාව කාර්මික කලාපයක් වන ශිට්සු ඕකා ප්‍රාන්තයෙන් සිදුවිය හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත. මෙම ප්‍රාන්තයේ පමණක් සිදුවිය හැකි ඇස්තමේන්තු ගත මරණ සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. පර්යේෂකයින් පුරෝකථනය කරනුයේ ජපානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වන ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.81ක අලාභයකට ජපානයකට මුහුණ දීමට මේ හේතුවෙන් සිදුවන බවයි. වසර 100-150 අතර කාලයකට වරක් මෙලෙස දරුණු භූමිකම්පාවක්ට ජපානයට මුහුණ දීමට සිදුවන අතර ඉදිරි වසර 30 ඇතුළත එය සිදුවනු ඇති බවට අනාවැකි පළ කර ඇත. 

f75e3c94099dea6db50e666c279dd607.jpg

මෙසේ ජපානයට සිදුවන භූ කම්පන අනතුරින් ශ්‍රී ලංකාවට කිසිදු අනතුරක් සිදු නොවන බව භූ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

කෙසේ නමුත් භූමිකම්පා යනු ජපානයට නිතරන්තරයෙන් මුහුණ දීමට සිදු වන ස්වභාවික අනතුරක් වන බැවින් ඔවුන් භූමිකම්පාවලට ඔරොත්තු දිය හැකි ගොඩනැගිලි තාක්ෂණයක් භාවිත කරනු ලබයි. විවිධ වූ ක්‍රමවේද අතුරින් එක් ක්‍රමයක් ලෙස මෝටර් රථයක suspension එසේත් නැතිනම් ගැස්සීම වැලක්වීමට යොදාගන්නා ක්‍රමයමය භාවිත කරනු ලබයි. මෙහි දී ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී තාක්ෂණික ක්‍රමයන් හෝ උපකරණ යොදාගැනෙන අතර එමගින් භූමියේ ගැස්සීමෙන් සිදුවන සෙලවීම පාලනය කිරීමත් ඒ ගැස්සීම ගොඩනැගිල්ලට බලපෑම් කිරීම නැවතීමත් සිදුකරනු ලබයි. එමෙන් ම භූමි කම්පාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිවාස ඉදි කිරීමට ජපානය ක යුතු සිදු කරනු ලබන අතර ඒ සඳහා ද ක්‍රම ගණනාවක් පවති. පාදමේ ඒකලිත පද්ධතියක් යෙදීම (based isolator) ඉන් එක් ක්‍රමයකි. 

bf4534e27832a6ad79b8e640d539c457.jpg

මේ ක්‍රමයේ දී ගොඩනැගිල්ල ඉදිවනුයේ පොළොවෙන් උඩයි. ඒ නම් ගොඩනැගිල්ලේ කිසිදු කොටසක් පොළොව හා සම්බන්ධ​ නොවන ලෙස ඉදිකිරීමයි. නම්‍යශීලි බෙයාරින්ග්ස් හෝ කොට්ට (pad) යොදාගෙන පොළව හා ගොඩනැගිල්ල අතර සම්බන්ධතාවය​ ඇති කරන අතර පොළොවේ ඇතිවන ගැස්සිමක දී ඒ හරහා ඇතිවන චලනයේ ශක්තිය උරාගැනීමට ඒ අනුව මේ පාදමට හැකි වේ. මේ ක්‍රමය සෑම ඉදිකිරිමකට ම සුදුසු නොවන අතර ඝන පාෂාණමය ඉදිකිරීම් සදහා පමණක් සුදුසු වේ. පාදමේ කොටස් නිපදවීමට ප්‍රධාන වශයෙන් රබර්, ඊයම් (ලෙඩ්) හා වානේ යන ද්‍රව්‍ය​ භාවිත කරනු ලබයි.

තවත් ක්‍රමවේදයක් ලෙස භූකම්පන තරංග ඒකලිත පද්ධතියක් යොදාගැනීම (Seismic Isolation) භාවිත වන අතර මේ ක්‍රමයේදී ද ගොඩනැගිල්ල පොළොවෙන් වෙන්කර ඉදිකිරීම් සිදු කරනු ලබයි. නමුත් මෙහි දී පොළොව හා ගොඩනැගිල්ල අතරට යොදාගන්නේ කම්පන අවශෝෂණය (shok absorber) කරන යාන්ත්‍රික පද්ධතියකි. 

158271b588bb26e06380ce550773907e.jpg

මේ ක්‍රමය බොහෝ සෙයින් මෝටර් රථවල කම්පන අවශෝෂක හා සමාන වන අතර මෙහි දී භූ කම්පනයක් අතරතුර ඇතිවන ගොඩනැගිල්ලේ තිරස් චලනයන් පාලනය කිරීමක් ද සිදු වේ. මෙම පද්ධතියක් යොදා නොගත් ගොඩනැගිල්ලකට සාපේක්ෂව මේ ක්‍රමය ඔස්සේ ඉදි වූ ගොඩනැගිල්ලකට සිදුවන තිරස් චලනයන් 1/5 ක ප්‍රමාණයක් දක්වා අඩු කර ගැනීමක් සිදු වන බව පරීක්ෂණ ඔස්සේ තහවුරු වී ඇත.

කම්පන වලට ඔරොත්තුදෙන කලම්ප හා කණු යෙදීම ද භූමි කම්පාවල බලපෑම අවම කර ගැනීම සඳහා භාවිත වන එක් ක්‍රමයකි. මේ ක්‍රමය කොටස් දෙකකින් යුක්ව වේ. එනම් ටයිෂින් හා සයිෂින් ලෙස ය. ටයිෂින් ක්‍රමයේ දී ගොඩනැගිලිවල බිත්ති හා කලම්ප සැකසීමේ දී කම්පනවලට ඔරොත්තු දෙන අමුද්‍රව්‍ය යොදාගෙන කලම්ප සවිකිරීම සිදුකරනු ලබා අතර එහි දී ඇණ යොදා සවිකිරීම සාමාන්‍ය පරිදි සිදු කරනු ලබයි. මෙම ඇණ යොදාගැනීමේ දී විශේෂිත කොටස් හා විශේෂිත ඇණ වර්ග යොදා ගැනීම සිදු කරයි. 

88c6a4b54335f460741c4c6e3b263e07.jpg

සයිෂින් ලෙස හඳුන්වන​ ක්‍රමයේ දී ගොඩනැගිලිවල තට්ටු අතර කම්පන අවශෝෂක (damping divices) සවිකිරීම සිදුකරනු ලබයි. තට්ටුවලට වෙන වෙන ම ඒවා සවිකරන අතර එමගින් කම්පනයන් සිදුවීමේ දී ඇතිවන හානිය අවම කිරීම සිදු කරනු ලබයි.

පරීක්ෂණ මට්ටමේ පවතින ක්‍රමයක් ලෙස කාබන් කෙඳි වලින් සැකසු කඹ යොදාගැනීම සැලකිය හැක. මෙහි දී කාබන් මුලද්‍රව්‍යයේ නැනෝ මට්ටමේ දී නිපදවන කෙඳි හරහා සාදන කඹ ගොඩනැගිලිවලට සම්බන්ධ කිරීම සිදු කරනු ලබයි. කාබන් නැනෝ මට්ටමේ කෙඳිවල ශක්තිමත් භාවය ඉහළ අතර එමගින් ගොඩනැගිල්ලේ තිරස් චලනයන් සිදුවන විට එම චලනයට විරුද්ධව කඹ මගින් ඇදීමක් සිදුකිරීමෙන් කම්පනයෙන් ඇතිවන ගොඩනැගිල්ලේ පැද්දීම නැතහොත් සෙලවීම නැවැත්වීමට හැකියාව ඇත. මේ කඹ ගොඩනැගිල්ලේ වහලයේ එක කෙලවරක ද අනෙක් කෙලවර අසල භූමියක ද සම්බන්ධ කරනු ලබයි.

3feb41323db3631579989aa80c1301fa.jpg

මෙසේ පූර්ණ සූදානමකින් පසුවන ජපානය මෙම අභියෝගය කෙසේ ජයගනු ඇතිදැයි මුලු ලොවක් බලා සිටින අතර ලෝක ආර්ථියට එමගින් සිදු වන බලපෑම කෙතරම් දරුණු වේද යන්න පිළිබඳව ද මේ වන විට ආර්ථික විශේෂඥයන්  පර්‍යේෂණ කරමින් පසු වන බව වාර්තා වේ.

 

සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required