
සුවහසක් ලෝ ප්‍රජාව ශෝකයේ ගිල්වමින් අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ වතිකානු වේලාවෙන් අප්‍රේල් 21 වන දින අලුයම ස්වර්ගස්ථ විය. අසූ අට වසරක දිවිසැරිය නිමා කරමින් උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේ වතිකානුවේ කාසල් සැන්ටා ආර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවහනේ දී ය.
වියපත් වීමත් සමඟ ලද රෝග පීඩා හේතුවෙන් පාප්වහන්සේ සිය අවසන් කාලය වෛද්‍ය අධීක්ෂණය යටතේ ගෙවූ අතර ශ්වසන පද්ධතියේ රෝගයක් හේතුවෙන් උන්වහන්සේ පසුගිය පෙබරවාරි 14 වැනිදා හදිසියේ රෝහල්ගත කෙරිණ. එම කාලය තුළ දී පාප්වහන්සේ ද්විත්ව නිව්මෝනියා තත්ත්වයට ද ලක්ව තිබුණි. වෛද්‍ය නිර්දේශය අනුව සුවය ලබා උන්වහන්සේ පැමිණිය ද තවත් දෙමසක් පමණ විවේකීව ම විසිය යුතු විය. නමුත් එය නොතැකූ උන්වහන්සේ එතැන් සිට වතිකානයේ පාස්කු සඳහා සූදානමින් තිබූ විශේෂ අවස්ථාවන්ට එක්වූයේ මහජන හිත සුව ම පතමින් ම ය. අප්‍රේල් 20 වන දින පැවැති පාස්කු මංගල්‍යයට ද උන්වහන්සේ සහභාගි වූ අතර එම අවස්ථාව ලෝක කතෝලික බැතිමතුන්ට සදා නොමියෙන මතකයක් වනු ඇත. සිය රෝගී තත්ත්වය ද මායිම් නොකරමින් උන්වහන්සේ එහි දී ජනතාව අතරට ද ගමන් කළේ ය.

හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ නමින්, 1936 සීතල දෙසැම්බරයේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී උන්වහන්සේ උපත ලැබුවේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසින් ය. එවකට බෙර්ගෝලියෝ නමින් හැඳිවූ උන්වහන්සේ රසායන විද්‍යා උපාධිධාරියෙකි. නිව්මෝනියාව හේතුවෙන් 1958 වසරේ දී පෙණහැල්ලේ කොටසක් ඉවත් කෙරුණු පසු කතෝලික දහමට නැඹුරු වූ බෙර්ගෝලියෝ පූජකවරයෙක් ලෙස දේව සේවයට යොමුවුණේ 1969 වසරේදී ය. උන්වහන්සේ 2001 වසරේ දී කාදිනල් තනතුරට උසස්වීම් ලැබී ය. 2013 වසරේ දී 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය ධුරයෙන් ඉසිඹු ලැබීමෙන් පසු පැවති පාප් නිලවරණයේ දී කතෝලික සභාවේ 266 වැනි පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට කාදිනල් බෙර්ගෝලියෝට හැකි විය. එහි දී සිය පාප් නාමය ලෙස උන්වහන්සේ තෝරාගත්තේ පළමුවැනි ෆ්‍රැන්සිස් යන නාමයයි. පාප් ධුරයට පත් පළමු අමෙරිකානුවා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වන අතර ලොව දකුණු අර්ධ අර්ධගෝලය නියෝජනය කළ පළමු පාප් වහන්සේ ද වන්නේ උන්වහන්සේයි.
ලෝක සාමය හා ළමා අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙක් ලෙස ප්‍රකට උන්වහන්සේ කාන්තා අයිතීන් වෙනුවෙන් ද හඬ අවදි කළේය. එමෙන් ම සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැරුවේ මෙතෙක් කතෝලික පල්ලිය දැරුවාට වඩා ලිහිල් මතයක් වීම සුවිශේෂි වේ. කොවිඩ් වසංගතයේ දී සෞඛ්‍ය සම්පන්න ලෝකයක් වෙනුවෙන් උන්වහන්සේ පැවැත්වූ හුදකලා දේවමෙහෙය ලොවපුරා අවධානය දිනාගත්තේය. එමෙන් ම මෙරට කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන හයක් ඉලක්ක කරගත් පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී උන්වහන්සේ පැවැත්වූ දේව මෙහෙයද විශේෂ වුණි. දකුණු සුඩානය සිවිල් යුද්ධය අවසන් කරන්නැයි ඉල්ලා එහි ප්‍රාදේශීය නායකයින්ගේ දෙපා සිඹීමටත් උන්වහන්සේ නොපැකිළුණේ ලෝක සාමය සඳහා ඇති කැපවීම මනාව පෙන්වමින්ය. ස්වර්ගස්ථ වීමෙන් පසු උන්වහන්සේ සාමයේ පාප් වහන්සේ ලෙස ද නම් කෙරුණේ ඒ අනුවයි.

චාරිත්‍රානු කූලව පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමක දී අනුගමනය කරන සුවිශේෂි සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර පවති. එහි දී එතුමන්ගේ ස්වර්ගස්ථ වීම හා ආත්මය ශරීරයෙන් වෙන් වූ බව සනාථ කිරීම සිදු කිරීම වතිකානු ආදයම් හා පරිපාලන කටයුතු භාර තනතුර දරන්නා වන කැමලින්ගෝ විසින් සිදු කරනු ඇත. සම්ප්‍රදානුකූලව කැමලින්ගෝ යන අය පාප්වහන්සේගේ දේහය අසලට ගොස් උන්වහන්සේගේ බෞතිස්ම නාමයෙන් තෙවතාවක් ආමන්ත්‍රණය කරන අතර ඉන් අනතුරුව ස්වර්ගස්ථ වීම සනාථ කරමින් එය කාදිනල්වරුන්ට දන්වා පැපල් නිවාසය මුද්‍රා තැබීම සිදු කරනු ලබයි. එමෙන් ම පාප්වහන්සේ පැළඳී මුදුව කැඩීම ද සිදු කරන අතර එමගින් සංකේතවත් කරනුයේ එම මුදුව තුළ ගැබ් වී ඇති පාප්වහන්සේගේ බලය බිඳ දැමීමෙන් ඔහුගේ පාලන කාලය අවසන් බවත්, කිසිවකුට ඔහුව අනුකරණය කළ නොහැකි බවත් ප්‍රකාශයට පත් කිරීමයි. ඉන් අනතුරුව ලෝක ප්‍රජාව දැනුවත් කර දින නමයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරෙයි. අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට ප්‍රථම අනුප්‍රාප්තික පාප්වරයකු පත් කරගැනීමට අදාළ කටයුතු ද සිදු කරනු ඇත. එතෙක් ජ්‍යේෂ්ඨ කාදිනල්වරු මඬුල්ලක් මගින් කතෝලික සභාව පාලනය කරනු ඇත.
මෙතෙක් ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ බහුතරයකගේ දේහ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සුසානය තුළ තැන්පත් කෙරුණ නමුත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මේරී මේජර් බැසිලිකාවේ තැන්පත් කර තිබීම සුවිශේෂි වේ. සාම්ප්‍රදායිකව පාප්වරුන් තැන්පත් කරනු ලබන්නේ සයිප්‍රස් දැවයෙන්, ඊයම් හා ඕක් දැවයෙන් සාදන ලද පෙට්ටියක් තුළ ය. නමුත් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ කැමැත්තට අනුව සරලව නිම කරන ලද සින්ක් ආලේපිත ලී පෙට්ටියක් දේහය තැන්පත් කිරීමට යොදා ගෙන ඇත. එය වර්ණවත් සැරසිලි වලින් තොරවන අතර උස් වේදිකාවක් මත තැන්පත් කිරීම ද එතුමා ප්‍රතික්ෂේප කර ඇත. මහජනතාවට ගෞරව දැක්වීමට පහසු ලෙස උන්වහන්සේගේ දේහය විවෘත පෙට්ටියක තැබෙනු ඇත.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද 23 වන බදාදා දින මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන ලදී. ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා රෝමය සහ වතිකානය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු කාදිනල් මඬුල්ලෙහි තීරණ අනුව අද දින සිදුකිරීමට නියමිතව පවතී. ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර ඇති දේහය අනතුරුව ශාන්ත පීතර චතුරස්රයට රැගෙන ගොස් අවමංගල උත්සවය පැවැත්වීමට නියමිත ය. පසුව නැවතත් ශාන්ත පීතර බැසිලිකාව තුළට රැගෙන යන දේහය ඉන් අනතුරුව උන්වහන්සේගේ අවසන් ගිමන් ලබන ස්ථානය වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට රිය පෙරහරකින් රැගෙන යනු ඇත. මෙම අවස්ථාවේදීත් මාර්ගය දෙපස රැස්වී පාප් වහන්සේ වෙත සිය ගෞරවය දැක්වීමේ අවස්ථාව ජනතාවට හිමිකර දී තිබේ.
මේ අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල උත්සවය සඳහා ලෝක නායකයින් රැසක් සහභාගි වන බවට මේ වනවිට තහවුරු කර ඇත. ඒ අතරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් මෙන් ම බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුද අයත් වේ.
ලොවපුරා බිලියන 1.4ක් වූ කතෝලික ප්‍රජාව පමණක් නොව මුලු මහත් ජනතාව ම ශෝකයට පත් කරමින් මානව දයාවේ ප්‍රතිමූර්තියක් වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දින සදා නොමැකෙන මතකයක් වී ඉතිහාසයට එක් වනු ඇත.
සැකසුම හා සංස්කරණය - ප්රසිලා සඳරුවනි