/
/
title icon දෙවන එළිසබෙත් රැජින දිවියට සමුදෙයි
දෙවන එළිසබෙත් රැජින දිවියට සමුදෙයි
Editor
1 year ago
Share:
දෙවන එළිසබෙත් රැජින දිවියට සමුදෙයි

සැත්තෑ වසක් හිරු නොබසින අධිරාජ්‍යය පරමාදරණීය පරමානන්දයක උන්මාද කළ සියවසේ දිරිය ගැහැණිය ඇයයි. අධිරාජණී කිරීටය හිස පැළඳු දා සිට ඇය මුහුණු දුන් අභියෝග ගැහැණියක ලෙස ජීවිත පරිපාකයට පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වීමටත් ගින්නෙන් පන්නරය ලද වානේ මෙන් ඇයට උපයුක්ත වූවා වන්නට ඇත.
එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ලෙස කෙන්ටබරි දේවස්ථාන මහපොතේ නම ලියවුනද ලෝකය ඇය හැඳින සිටියේ දෙවන එළිසබෙත් මහාරාජනිය ලෙසයි. හැත්තෑ වසරක් එංගලන්ත කිරීටය හොඹවා, අනුහය වසරක් ආයුවළඳා ඇය දෙදහස් විසි දෙකේ සැප්තැම්බර් මස 8 වන බ්‍රහස්පතින්දා දින බල්මොරල් හිදී සදහටම දෑස් පියාගත්තේ හිරු නොබසින අධිරාජ්‍යය වැඩිම කාලයක් පාලනය කළ රැජිනගේ නික්මයාමේ ශෝකාන්ධකාරයේ බි්‍රතාන්‍ය වැසියන් ගිල්වමිණි.
ස්වෛරී රාජ්‍යයක් වැඩිම කාලයක් පාලනය කළ ලොව දෙවන දිගම කාල වකවානුවට හිමිකම් කී ඇය, මිය යන විට එක්සත් රාජධානියට අමතරව තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් දාහතරක අධිරාජණියද විය.
එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය වර්ෂ එක්දහස් නවසිය විසිහයේ අප්‍රේල් මස 21 දින ලන්ඩනයේ මේෆෙයාර් හිදී උපත ලබන්නේ එවකට යෝර්ක්හී ආදිපදවරයා වූ පසුව හයවෙනි ජෝර්ජ් ලෙස කිරුළු පළන් රජුට සහ යෝර්ක්හී ආදිපාදවරියට දාවය. වර්ෂ 1930 දී උපත ලද මාග්‍රට් කුමරිය ඇයගේ එකම සොයුරියයි.
සිය ප්‍රේමය අරඹයා අටවන එඩ්වඩ් රජු කිරීටය අත්හැරීමෙන් 1936 දී හයවන ජෝර්ජ් රජතුමා කිරුළට හිමිකම් කී නිසා එළිසබෙත් කුමරිය එහි අනුමාන උරුමක්කාරිණීය විය.
‘ලිලිබට්’ නම් ආදර නාමයෙන් හැඳින්වූ ඇය බකිංහැම් මාළිගාව තුළම පෞද්ගලිකව අධ්‍යාපනය ලැබ, දෙවන ලෝක සංග්‍රාමයේදී සහයක භෞමික සේවයේ කටයුතු කරමින් පොදු රාජකාරි පිළිබඳ පළමු අත්දැකීම ලබාගත්තාය. සතුන්ට ආදරය කළ ඇගේ වඩාත් සමීපතම සුරතලුන් වූයේ සුනඛයින් සහ අශ්වයින් ය.
වර්ෂ 1947 දී ඇයගේ විවාහය සිදුවූයේ ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ කුමාරයෙකු වූ පිලිප් මවුන්ට්බැටන් සමඟයි. වර්ෂ 2021 සිදුවූ පිලිප් කුමාරයාගේ අභාවය දක්වා 73 වසරක් පුරා එම විවාහය පැවතිණි. ඔවුන්ගේ රාජකීය කැණිමඬල දරුවන් හතර දෙනෙකුගෙන් සමන්විත විය. චාල්ස්, ඇන්ඩෲ, එඩ්වඩ් කුමාරවරුන්ගෙන් සහ ඈන් කුමරියගෙන් එම සිව්පෙති මල අලංකාර විය.
වර්ෂ 1952 දී හයවන එඩ්වඩ් රජතුමා අභාවයට පත්වූ නිසා එවකට විසිපස් හැවරිදි වූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි, වර්ෂ 1953 දී දෙවන එළිසබෙත් රාජණිය ලෙස හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටය සිය සිරස මත තබාගත්තාය. ඇය කිරුළ පළදින විට පොදු රාජ්‍ය මණ්ඩලීය යටත් විජිත රටවල් වලට අමතරව ස්වාධීන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් හතකද රැජින වුවාය.
ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය සහ ලංකාව ඒ අතර විය. උතුරු අයර්ලන්තයේ බෙදුම්වාදි කරදර, එක්සත් රාජධානියේ බලය බෙදීම, අප්‍රිකාවේ යටත් විජිතකරණය, එක්සත් රජධානිය යුරෝපා ප්‍රජාවන්ට ප්‍රවේශවීම මෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත්වීම වැනි ප්‍රධාන දේුශපාලන වෙනස්කම් හරහා ව්‍යාවස්ථාපිත රාජාණ්ඩඩුවක් ලෙස ඇය සිය පාලනය කරගෙන ගියාය.
වර්ෂ 1953 දී ඇය සිය සැමියා වූ පිලිප් කුමාරයාද සමඟ රටවල් 13 දීර්ඝ සංචාරයක් ආරම්භ කළ අතර එය කි.මි. 64,000 කට වඩා වැඩි දුරක් ආවරණය වූ සංචාරයකි. එම සංචාරයේදී ඇය ශ්‍රී ලංකාවටද පැමිණියාය. ඇගේ සීගිරිය සහ දළදා මාළිගාව වෙත සිදුකළ සංචාර පිළිබඳව එකල පුවත්පත් මහත් ඉහළින් වර්ණනා කර තිබුණි. එය ඇගේ ප්‍රථම ලංකා සංචාරයයි.
වර්ෂ 1972 දී ජනරජයක් බවට පත්වී දේශයේ නාමය ශ්‍රී ලංකාව ලෙස නාමකරණය වන තෙක්ම දෙවන එළිසබෙත් රැජින, ලංකාවේ රාජනිය ලෙස කටයුතු කළාය. වර්ෂ 1984 දී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම වේල්ල සහිත වික්ටෝරියා ජලාශය ඉදිකිරිමට අවශ්‍ය සමස්ත බරපැන දරන ලද්දේ දෙවන එළිසබෙත්
රැජිනගේ මැදිහත් වීමෙන් නිසා ඇගේ මිත්තණියගේ නාමය වූ වික්ටෝරියා යන්න ඊට තබන ලදී.
ඇයගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය වර්ෂ 1981 ඔක්තෝබර් මස 21 දින 25 දක්වා සිදුවිය. ඇය එවර මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ඡන්ද බලයට වසර 50 සපිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතාව ලෙසයි.
ලොව පාලනය කළ අධිරාජ්‍යයන් අතරින් ඇය දෙවැනි වූයේ ප්‍රංශයේ දහහතරවන ලුවි රජතුමාට පමණි. ලෝක ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ජීවත් වූ සහ දීර්ඝතම කාලයක් පාලනය කළ බි්‍රතාන්‍ය අධිරාජණිය වූ ඇය ඇගේ ජනරජවාදි හැඟීම් වලට සහ ඇගේ පවුල පිළිබඳ මාධ්‍ය විවේචනයන්ට දැඩි ලෙස මුහුණ දුන්නාය.
ඇගේ දරුවන්ගේ විවාහ බිඳවැටීම මෙන්ම වර්ෂ 1997 දී සිදූවූ ඇගේ හිටපු ලේලිය වන ඩයනා කුමරියගේ හදිසි මරණය පිළිබඳ දැඩි විවේචනයන්ට ඇයට මුහුණ දීමට සිදුවුවත් එක්සත් රාජධානියේ රාජාණ්ඩුවත් ඇගේ පෞද්ගලික ජනප්‍රීයත්වයත් අඛණ්ඩව ඉහල අගයක පැවතුණි.
වර්ෂ 2022 සැප්තැම්බර් මස 8 වන දින ඇබර්ඩීන්ෂෙයාර් හි බැල්මෝරල් මාළිගාවේදී ඇය අභාවප්‍රාප්ත විය. ඇගෙන් හිස්වූ එක්සත් රාජධානියේ කිරීටය ඇගේ වැඩිමහල් පුත් චාල්ස්ට හිමිවූ අතර, ඔහු තුන්වන චාල්ස් රජු ලෙස නුදුරු දිනයක කිරුළු පළදිණු ඇත.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required