
දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත පැමිණියා.
ලන්ඩන් නුවර වෙත ලගා වීමෙන් පසු ඔහු බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ එලිසබෙත් ට්‍රස් හමුවීමට නියමිත අතර ඉන් අනතුරුවයි ඔහු විසින් ජාතිය ඇමතීමට නියමිතව ඇත්තේ.
වසර හැත්තෑවක කාලයක් කිරුළ දැරූ බ්‍රිතාන්‍ය මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල් මොරල් මාලිගයේදී ඊයේ අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඇය 96 වන වියෙහි පසු වුණා.
1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය රාජකීය ධුරාවලියට නම් කෙරෙන්නේ ඇයට වයස අවුරුදු 10 දියි. ඒ, ඇයගේ පියා වන හයවන ජෝර්ජ් කුමරු බි්රතාන්යයේ රජු බවට පත්වීමත් සමඟයි.
හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ ඇයට විසිපස්වන වියේදී හිමිවූයේ පියාගේ අභාවයෙන් අනතුරුවයි. එතැන් සිට දශක හතක කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ හෙබවූ ඇය ලොව දීර්ඝතම කාලයක් බලයේ රැඳී සිටි රාජකීයයා බවට පත්වුණා.
වයස අවුරුදු 21 දී දකුණු අප්‍රිකාවේ සිදුකළ සංචාරයක් අතරතුර ජනතා සේවය වෙනුවෙන් ජීවිතය කැපකරන බවට ඇය ලබා දුන් පොරොන්දුවක් පිළිබද පසුගියදා පැවති රිදී ජුබිලිය අවස්ථාවේ ඇය කළ සිහිපත් කිරීමක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මේ අතර බකින්හැම් මාලිගය ඉදිරිපිටට රැස්වූ අති විශාල ජනකායක් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පුෂ්පෝපහාර පළකරන අකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර දේවස්ථාන ආශ්‍රිතව විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා.
එමෙන්ම, බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට සැළසුම් කර තිබූ විවිධ උත්සව සහ ක්‍රීඩා තරගාවලිද අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එමෙන්ම, රැජිනට ගෞරවය පළ කරමින් ලන්ඩනයේ ස්ථාන කිහිපයකදී ආචාර වෙඩි මුර පළ කිරීම සිදුකෙරුණා.
මේ අතර ,රැජිණට ගෞරව පළකිරීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද අද රැස්වුණා.
එහිදී බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලීස් ට්‍රස් එළිසබෙත් මහ රැජිණ හදුන්වා දුන්නේ නූතන බ්‍රිතාන්‍ය ගොඩනැගූ පර්වතය ලෙසිනුයි.
මේ අතර රැජිණගේ අභාවය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් සිය ශෝකය පළකරමින් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න් කියා සිටියේ තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2021 වසරේ එලිසබෙත් මහ රැජිණ හමුවීම සිය දිවියේ සුවිශේෂී අවස්ථාවක් වූ බවයි.
අභිමානවත් යුගයක් ඇති කළ ආදර්ශමත් නායිකාවකගේ සමුගැනීම තමන් කණස්සල්ලට පත් කළ බව ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද තමන් බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරවලදී රැජිණ සමඟ පැවති හමුවීම් පිළිබඳව සිහිපත් කර තිබෙනවා. එක් හමුවකදී මහත්මා ගාන්ධි විසින් තිළිණ කළ ලේන්සුවක් ඇය තමන්ට පෙන්වූ බවත්, ඇය එය සැමවිටම අගය කරන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින්, සෞදි අරාබියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු ඇය වෙනුවෙන් ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා.
ජනාධිපති රනිල් වික්රමසිංහද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකර තිබෙනවා. ස්ථාවරත්යේ සහ විදදරාගැනීමේ සංකේතයක් ලෙස රැජිණ හදුන්වාදී ඇති ජනාධිපතිවරයා ඇයගේ අභාවය පිළිබද රාජකීය පවුලට සහ බ්‍රිතාන්‍යයේ මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය වැසියන්ට සිය හෘදයාංගම ශෝකය පළකරන බවයි සඳහන් කර ඇත්තේ.
එමෙන්ම දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ලබන 19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට නියෝග කර තිබෙනවා. එමෙන්ම එදින දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.
එමෙන්ම, දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිත් කළා.