/
/
title icon පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි – ගාලූමුවදොර විරෝධතාවක්.
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි – ගාලූමුවදොර විරෝධතාවක්.
Editor
1 year ago
Share:
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි – ගාලූමුවදොර විරෝධතාවක්.

ජනතා නිදහසට අත නොතබනු මැයෙන් නීතිඥවරුන් සහ වෘත්තිකයන් අද පස්වරුවේ ගාළු මුවදොරදී විරෝධතාවක නිරත වුණා.

ඒ, අදාළ විරෝධතාව වළක්වන ලෙස කොටුව පොලිීසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

සාමකාමීව රැස්වීමේ නිදහස තම සේවාදායකයන්ට ඇති බව විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නිීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කියා සිටියා.

නීති විරෝධි කිසිවක් කිරීමට සැලසුම් කර නොමැති බව පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ සාමකාමී අයිතිය නැවත්වීම සදහා ප‍්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ නොමැති බවයි.

මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත ප‍්‍රනාන්දු සහ වරාය අධිකාරිය වෙනුවෙන් වසන්ත පුෂ්පකුමාර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිල්ලක් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සදහන් කළේ ගාලූ මුවදොර සහ පොදු ස්ථාන වල රැස්වීමට මෙන්ම එම ස්ථාන භාවිතා කිරීමට පොදු මහජනතාවට අයිතියක් ඇති බවයි.

එම අයිතිය ආරක්ෂා කළ යුතු සේම ඒ අවට මාර්ගවල ගමන් කරන රථ වාහන වලට පුද්ගලිකව බාධා නොවන ලෙස විරෝධතාව සිදු කළ යුතු බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.

උද්ඝෝෂණය සාමකාමීව සිදුකළ හැකි බවත්, ගාලූමුවදොර භාවිතා කරන සාමාන්‍ය ජනතාවට බාධාවක් සිදු නොවන අයුරින් එය සිදුකළ යුතු බවත් සදහන් කළ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ පොලිසිය කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා.

එසේ සිදු නොකර උද්ඝෝෂණකරුවන් විසින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් සිදුකරන්නේ නම්, අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ප‍්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

ඒ අනුව ජනතා නිදහසට අත නොතබනු මැයෙන් නීතිඥවරුන් සහ වෘත්තිකයන් එක්ව අද පස්වරුවේ ගාලූමුවදොර පරිශ‍්‍රයේදී සිය විරෝධතාව ආරම්භ කළා.

මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය දෙපස මාර්ග බාධක දමා වසා දැමීමටයි පොලිසිය කටයුත කළේ.

එහිදි පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන්නා. ඉන් විනාඩි කිහිපයකට පසුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

මේ අතර, ඊයේ කොළඹ ගාලූමුවදොර පැවති සාමකාමී විරෝධතාව සහ සැමරුම පොලිසිය විසින් විසුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වයං මෙහෙයවීමෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම විරෝධතාව පොලිසීය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න පිළිබද කරුණු ඇතුළත් වාර්තාවක් පැය 24ක් ඇතුළත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බවට පොලිස්පතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.

විරෝධතාව අතරතුර පොලීසිය අතින් දරුවන්ට සිදුවන හිරිහැරවලට එරෙහිව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාලින්ද ජාතික ළමාරක්ෂක අධිකාරියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මේ අතර, ගාලූ මුවදොර පිටියේ ඊයේ පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required