/
/
title icon අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩා ගම්පහට – ගංගා කිහිපයක් තවමත් අවදානමේ.
අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩා ගම්පහට – ගංගා කිහිපයක් තවමත් අවදානමේ.
Editor
1 year ago
Share:
අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩා ගම්පහට – ගංගා කිහිපයක් තවමත් අවදානමේ.

දිවයිනේ ප‍්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් පවුල් 13,902 ක පුද්ගලයන් 55,435 අවතැන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වැඩිම පිරිසක් ආපදාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ වන අතර පවුල් 9745 ක පුද්ගලයන් 41,122 දෙනෙකු එහිදී පීඩාවට පත්ව තිබෙනවා.

කඳවුරු 6 ක පවුල් 85 කට අයත් පුද්ගලයන් 358 දෙනෙකු රඳවා සිටින බවයි ගම්පහ දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කළුතර දිස්ත‍්‍රිකක්යේ පවුල් 223 කට අයත් පුද්ගලයන් 832 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයේ නිවාස 72 කට අර්ධ හානි සිදුව ඇති අතර, ව්‍යාපාරික ස්ථාන 6 කට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ පවුල් 3353 ක පුද්ගලයින් 11,291 ක් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර, කැළණි ගඟ පිටාර ගැලීමෙන් බියගම ප‍්‍රදේශයෙන් මල්වාන, යබරලූව උතුර සහ දකුණ, බියගම නැගෙනහිර හා දකුණු ග‍්‍රාම නිලධාරි වසමේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් නිවාස 682 ක පුද්ගලයින් 1620 ක් පමණ අවතැන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම බියගම කැලණිය මාර්ගයේ බණ්ඩාරවත්ත හන්දියේ සිට රග්ගහවත්ත පාලම දක්වා කොටස, බණ්ඩාරවත්ත හන්දියෙන් මල්වානට හැරෙන හන්දිය ජලයෙන් යටවී තිබෙනවා.

එසේම මල්වාන කොළඹ මාර්ගයෙන් රක්ෂපාන ප‍්‍රදේශය සහ නව නුවර මාර්ගයේ 13 කණුව ප‍්‍රදේශය සහ යබරලූව පහත් බිම් ප‍්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් 36 ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ අනුව බටහිර නාවික විධානය මගින් රත්නපුර ප‍්‍රදේශය වෙත සහන කණ්ඩායම් දෙකක් ද කළුතර ප‍්‍රදේශයට සහන කණ්ඩායම් 4 ක් ද යොමුකර තිබෙනවා.

අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථාන ගත කිරීම් සඳහා තවත් සහන කණ්ඩායම් 21 ක් සහ දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් 9 ක් ද සූදානම් කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සුළු ගංවතුර තත්ත්වයේ පවතින කැළණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ජල කළමනාකරණ අංශය කියා සිටියා.

නාගලගංවීදියෙන් කැළණි ගඟේ ජල මට්ටම ඊයේ පස්වරු 3 වනවිට අඩි 5 යි අගල් 2 ක මට්ටමේ පැවති බවයි එහි අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ.

එමෙන්ම, කළු ගගේ ජල මට්ටම ද මේ වනවිට ඉහළ ගොස් ඇති අතර පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ද ජලය පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති අතර, පවතින වර්ෂාපතනය හමුවේ එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගිං ගඟේ ජල මට්ටම ද බද්දේගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර පහත්බිම් වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම, අත්තනගලූ ඔයේ ද ජලය පිටාර ගැලීමෙන් මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ.

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර, පහත් බිම්වල ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required