/
/
title icon ඇත්තට වැස්ස කියන්නේ මොකක් ද?
ඇත්තට වැස්ස කියන්නේ මොකක් ද?
Editor
1 year ago
Share:
ඇත්තට වැස්ස කියන්නේ මොකක් ද?

වැස්ස කියන්නේ අපට අත්‍යාවශ්‍යම දෙයක් කිව්වොත් හරි. හරිම පුදුමාකාර දෙයක්. විටක රළු වෙන, විටක ගත සිත පුබුදුවන, තවත් විටක සැහැල්ලුවක් එක් කරන මේ වැස්ස ගැන කතා කිරීම ගොඩක් වැදගත් කියලා හිතනවා. මොකද ජීවීන්ගේ පැවැත්මට මේ වර්ෂාව විශාල දායකත්වයක් සපයනවා. මේ දින වල ලංකාවේ බොහෝ පැති වලට වර්ශාවෙන් නම් අඩුවක් නැහැ. නායයාම්, ගංවතුර ගැලීම්, අකුණු අනතුරු, පස් කඳු කඩා වැටීම්, ජීවිත හානි, දේපල හානි මේ ආදී ලෙස වර්ෂාවේ අතුරු ප්‍රතඵල නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.

වැස්ස කියලා කියන්නේ අපේ වායුගෝලයේ තිබෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා ඉන්පසු බර අධික වීම නිසා, ගුරුත්වය යටතේ ඇද වැටෙන ද්‍රව බිඳිති ස්වරූපයක් කියලා කෙටියෙන් අදහස් කරන්න පුළුවන්. ඒ වගේම ජල චක‍්‍රයේ ප්‍රධාන සංරචකයක් තමයි මේ වැස්ස කියන්නේ. අපේ පෘථිවියේ තිබෙන මිරිදිය ( ගොඩබිම් ජලය) ජනිත වීම සඳහා ද හේතුවක් වෙනවා.

කෙසේ වෙතත් අපේ ලංකාවේ වර්ෂාපතනය විවිධාකාරයි. වාර්ෂික වර්ෂාපතනයෙන් බහුතරය මෝසම්, සංවහන, සුළිසුළං වැසි කියන වැසි ආදියෙන් සමන්විත වෙනවා . ලංකාවේ වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වියළි පෙදෙස් වල මි.මී. 900 අඩු ප්‍රමාණයක සිට තෙත් පෙදෙස් වල මි.මී. 5000 ට වඩා ඉහළ ප්‍රමාණක් දක්වා වෙනස් වෙනවා. වර්ෂාවේ වර්ගය අනුව මූලික වශයෙන්ම ලංකාවට වැසි ඇදවැටෙන කාල සීමාවන් හඳුනා ගන්න පුළුවන්.

මෝසම් වර්ෂාව කියන්නේ ලංකාවට වැඩි වශයෙන් වැසි ලැබෙන ක්‍රමයක්. මේ වර්ෂාව කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි නිරිත දිග මෝසම් වර්ෂාව සහ ඊශාන දිග මෝසම් වර්ෂාව කියන්නේ. නිරිත දිග මෝසම් වර්ෂාව නිරිත දිග මෝසම් සුළං නිසා ඇති වනවා. මැයි සිට සැප්තැම්බර් කාලය තුළ නිරිතදිග ප්‍රදේශය හා මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවලට තමයි මේ වැසි ලැබෙන්නේ.

ඊශාන දිග මෝසම් වර්ෂාව ඊශානදිග මෝසම් සුලං නිසා ඇති වනවා. උතුරු, නැගෙනහිර, උතුරුමැද ප්‍රදේශ වලට දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ මේ වැසි ඇති වෙනවා.

සංවහන වැසි කියන්නේ තද හිරු රැස් තිබෙන දිනවල දහවල් කාලයේදී සිදු වන සංවහන වායු ධාරා නිසාත්, අහස වලාකුලින් බර වීම නිසාත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමයි. මේ වැසි මාර්තු සිට අප්‍රේල් හා සැප්තැම්බර් සිට ඔක්තෝබර් යන කාල වකවානු දෙකේදීම ඇති වෙනවා.

ඒ වගේම වාසුළි ඇති වෙන්නේ සාගරවල ඇති වන පීඩන අවපාතන නිසා. මේ සමග ඇතිවන තද වැසි වාසුළි වැසි කියලා හදුන්වනවා. ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාල වකවානුවේ තමයි මේ වැසි ඇති වන්නෙ.

කෙසේ නමුත් පරිසර තත්ත්ව වල පැවැත්මට, ජීවීන්ගේ පැවැත්මට, ජල විදුලිය නිපදවීමට, විවිධ වෘත්තීන් පවත්වා ගැනීමට වගේ බොහෝ කාර්යයන් වලට මේ වර්ෂාව හේතුවක් වනවා. ඉතිං මුළු ලෝකයකටම අවශ්‍ය වර්ෂාව නිසි ලෙස කළමනාකරණය කරන්න පුළුවන් නම් වර්ෂාව නිසා ඇති වන හානි දායක තත්වයන් බොහොමයක් මඟ හරවා ගන්න පුළුවන්.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required