/
/
title icon ප්‍රේමයෙන් මත් වෙන්න කවියකට ඉඩ දෙන්න.
ප්‍රේමයෙන් මත් වෙන්න කවියකට ඉඩ දෙන්න.
Editor
1 year ago
Share:
ප්‍රේමයෙන් මත් වෙන්න කවියකට ඉඩ දෙන්න.

“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි”

නන්දා මාලිනියගේ මියුරු හඬින් ගැයෙන මෙම ගීය සමඟ බොහෝ සහෘද හදවත් උත්තරීතර ප්‍රේමයක් අස්පර්ශිකවම ස්පර්ශ කරන්නට ඇත. සැබවින් ම ප්‍රේමය පාරිශුද්ධ ද? සුරම්‍යද? රාගයෙන් තොර ද?
මේ විවරණය නිවරැදි ද?
ප්‍රේමයේ හැඩය මේ මේ යැයි කිව හැකි ද? සැබැවින් ම ප්‍රේමය නම් කුමක් ද? මේ සියලු පැන අභියස හැමවිටම කවියට,කවියන්ට ආනුභූති සපයන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබඳ කවි තුළින් කියවීමකට හොඳ ම කාලය මේ යැයි සිතමි.

ප්‍රේමය කියන්නේ ම නිර්වචන විරහිත ආඛ්‍යානයක්!

සැබවින් ම ස්ත්‍රී පුරුෂ ප්‍රේමය චිත්තවේගාත්මකවූත් භාවාත්මකවූත් අන්තර් පුද්ගල සබඳතාවකි. එය බොහෝ විට එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්ථය මුසු සහකම්පනයකි. නමුත් ජීව විද්‍යාත්මක ව සලකා බලන කල හෝමෝනවල ක්‍රියාකාරීත්වය මත ඇතිවන අභිප්‍රේරණයක සුවිශේෂී අවස්ථාවකි. අන්තර්පුද්ගල සම්බන්ධතා විෂයෙහි වැඩි ඉඩකඩක් හිමි කරගන්නා ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අනුරාගය, ආකර්ෂණය,බැඳීම යන අවධි තුන පදනම් කොටගනිමින් ගොඩනැගෙන්නකි.

මේ සියල්ල අතර ජීව විද්‍යාඥයන් හෝ මනෝ විද්‍යාඥයන් කිසිදා නොකිය වූ ප්‍රේමයේ සංවේදී, සංකීර්ණ අහුමුළු සොයා යන්නට කවියා සැබවින් ම සමතෙකි. එනිසාම පද සංයෝගයන් මනුෂ්‍ය හදවටත් සංවේදනාවන්ගෙන් පුරවයි. විවිධ මනෝභාවයන් අතර අතරමං කරවයි. සිදුහත් – යශෝධරා ප්‍රේමයේ පටන් නූතන සයිබර් අවකාශගත ප්‍රේමය දක්වා ම හැඟීම් තුළ බුද්ධිය සුසංගත කරවන පද රටා මවයි. නිර්මාණයන්ට ලෞකිකත්වය පදනම් වූ දා සිට අද දක්වා පරමාදර්ශී ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පටන් අසම්මතයැයි සම්මත ප්‍රේමය දක්වා කවිය විහිදී යන ආකාරය අපූරු ය.

” කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේව
ගව්වෙන් ගව්ව දිව මාලිග ඇති වේවා”

මහනුවර යුගය තුළ ,ජනකවි සම්ප්‍රදායට අනුව විරචිත “යශෝදරාවත” ගැඹුරු අඹුසැමි ප්‍රේමයක පරමාදර්ශයන් සපයන්නකි. නමුත් ප්‍රේමය නම් පරමාදර්ශය තුළ පමණක් ගැබ් වූවක් නොවේ.

“හුලවාලි” චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් සුගායනීය වූ ධර්මසිරි ගමගේ මහතාගේ පද සුසංයෝගය”කුඩා ගමේ මද්දහනේ ” ගීතයත් ප්‍රේමයට නිර්මල අර්ථයක් එක් කරන්නකි.

“ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිදුණු දා කුමකට කඳුළු හෙලනු සකි
ආලවඩන යන තේරුම බෝසත්කම සකි”

ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය හෝ යහන නොඉක්මවූ බැදීමට ප්‍රේමයයැ’යි නොකියයි. ප්‍රේමය වනාහි පරිත්‍යාගයයි. කවියා වනාහි එකී ප්‍රේමයේ පරිත්‍යාගයන් වචන අමුණා හදවතට තට්ටු කරන සමස්ථ සමාජයේ ම ප්‍රේමවන්තයා යි.
හුදු කායික බැදීමක රැදුණු ප්‍රේමයට වඩා කායිකවත් මානසිකවත් බැදුණු ප්‍රේමය ශක්තිමත් ය.

නමුත් ලෝකයේ ප්‍රචලිත ප්‍රේම වෘතාන්ත අතර ලාංකේය හදවත් කම්පනය කළ දස්කොන් – ප්‍රමිලා ප්‍රේමය ඉහත කී පරමාදර්ශී ප්‍රේමයක් ලෙස නොව අසම්මතක් ලෙස සමාජය තුළ ලේබල් වූවකි. සම්මත අසම්මත බව එකිනෙකා සතු අත්දැකීම් පරාසය හා එකිනෙකාගේ මානසික මානයන් තුළින් තීරණය වන්නකි. එයට මේ යැයි නිශ්චිතව ම වෙන් කළ හැකි රේඛාවක් නොමැත. ප්‍රංශයේ මුල් පදිංචිකාරයන් වූ ගැස්කොන් පරම්පරාවේ දස්කොන් ශ්‍රී පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිරිඳ වූ ප්‍රමිලා දේවිය හා පෙමින් බැදේ. සෙල්ලම් නිරිඳු ලෙස සිංහලය තුළ ප්‍රචලිත නරේන්ද්‍රසිංහ රජුගේ ප්‍රේමය අතවැසි, අන්ත:පුර වැසි සියලු කාන්තාවන් වෙත එක ලෙස ගලා යන ලදී. එනිසා ම ප්‍රමිලාගේ ජීවිතය තුළ ප්‍රේමයේ සුන්දරත්වය නිර්මාණය කළ කායික බැදීමකට එහා ගිය මානසික සුවය නිර්මාණය කළ ප්‍රේමය, බැදීම දස්කොන් විය. ලොවම අසම්මතයැ’යි හංවඩු ගැසූව ද ප්‍රමිලාට සම්මතයක් වූ දස්කොන්ගේ හෘදයාංගම ප්‍රේමයට තිළිණි එන් ලියනාරච්චි විසින් සපයන විවරණය අනෙක් කවියන්ට වඩා වෙනස්‍ ය.

“ලොවම හිමි වී , නුඹ අහිමි වී මට මරණය ද හීනයක් වී ඇත

ඉතින් ප්‍රේමය දුරයි දස්කොන්
ලොවක් මට දොස් කියයි දස්කොන්
හිතත් සී සී කඩයි දස්කොන්
මලත් නුඹ මගෙ ලඟයි දස්කොන්”

ලෝක අපවාදයට ලක් වූ ප්‍රේමයම , ඇගේ ජීවිතය ජීවිත් කරවූ ප්‍රේමයයි. එනිසාම නැවතත් ප්‍රේමය වනාහි නිර්වචන විරහිත ආඛ්‍යානයක් බව සිහිපත් කරමි.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද අතර ,

” රන්කෙන්දෙන් බැඳ අතැගිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි”
යන පද අතර සැඟව ඇති අරුත ද ප්‍රේමයේ සංකීර්ණ අහුමුල්ලකට අපව කැඳවාගෙන යයි. යෝජිත විවාහයක් තුළ බලෙන් ජීවත් වන යුවතියකට ඇගේ ජිවිතයේ සැබෑ ප්‍රේමය සිහිවීම,නැවත හමුවීම, බැදීම් රිදීම් අභියස තනිවීම කිසිවෙකුට නවතාලිය නොහැකියි. එය යෝජිත නීත්‍යානුකූල විවාහයක් සහ හෘදස්පර්ශික නීත්‍යානුකූල නොවූ ප්‍රේමයක් අතර දෝලනය වන්නකි.නමුත් තනි වූ ප්‍රේමවන්තයාගේ රිදි රිදී ජීවත් වන, නමුත් තියුණුම සංවේදනාවන් විදින ජීවිතයත් ප්‍රේමයේ තවත් ඉසව්වක් ස්පර්ශ කරවන්නකි.
එය රුවන් බන්දුජීව කවියා විසින් ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය හරි අපූරු ය.

“සුදු වළාකුළු කිහිපයක් සහ
කන්ද මුදුනේ උන්නු පුරහඳ
කපා ගත්තෙමි කතුරකින්
හෙන්දිරික්කා මල් වගේකුත්
කඩාගත්තෙමි පදුරකින්
කළු පැහැති කඩදාසියක් මත
ඉහළ කෙලවර ඇලෙව්වෙමි හඳ
වළාකුළු සහ මල් ද අලවා
තබමි තැන තැන පුංචි පිනි කැට
පාට කූරක් අරන් ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
ඇදලා දෙනවද මතක හැටියට
හිටපු හැටි අපි දෙන්නා හඳ යට”

ප්‍රේමයකින් තනි වූ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය බිදුණු හදවතෙහි කකියන ප්‍රේමය කවියෙක්ගේ කියවීමක් තුළ කොතරම් නම් සහෘදයා සංවේදී කරවිය හැකි ද යන්නට තවත් නිදසුන් සාක්ෂි උවමනා නැත.

රවී සිරිවර්ධනයන් විසින් “ප්‍රදීපාගාරයක ඇස් බැල්ම ” කාව්‍ය සංග්‍රහය තුළ ප්‍රේමයක් නම් මෙසේ විය යුතුයි නොකියා කියන කතාව ද ප්‍රේමයේ තවත් ඉසව්වක් ස්පර්ශ කරවන්නකි.

” මගේ අත්පසුරෙන් මිදෙද්දිත්
එපා වී ආපසු හැරෙද්දිත්
නින්ද බිඳ මතකෙට වඩම්මන
ප්‍රේමයක්නම් තමයි ලස්සන

එවූ පණිවිඩයෙන් රිදෙද්දිත්
වචන මූණිස්සම් ඇනෙද්දිත්
එකම ආදර වතුර විතකට
මඟ බලන ප්‍රේමයයි ලස්සන”

ප්‍රේමයනම් දරාගැනීමට කියන සංක්ෂිප්ත නමයි. විවාහයක් තුළ දූදරු,ආර්ථික ප්‍රශ්න සියල්ල අභියස වාද විවාද සමඟින් අනෙකා වෙනුවෙන් බලා සිටීම, අනෙකා වෙනුවෙන් දරාගැනීම බොහෝ විට සිදුවන්නකි. ඉතින් ප්‍රේමය ලස්සන එහෙම ය. ශෘංගාර රස මවන ප්‍රේමයක පරතෙර කායික බැඳීමක හෝ යහනක් නොව ,ඉන් එහා ගිය වගකීම්,දරාගැනීම් පරිත්‍යාගයන් මෙන් ම බලා හිදීම් ය.

ප්‍රේමය තුළ සමාජ අසම්මතයත් සම්මත ය. රිදීම් තියුණු විදීම් ය. කවිය ද එසේම ය. රිදීම් ,විදීම් කරවන කවිය සැබෑ ලොව තුළ අසම්මත ය සම්මතයන් බවට පත් කරයි. සහෘද හදවත් කම්පනය කළ බොහෝ නිර්මාණවල පදනම වී ඇත්තේ ද එයයි. වැරදි කරන්නට කලාව තුළ ඇති අයිතිය කවියා හැමවිට ම හරි අපූරුවට භාවිතා කරයි.
එනිසා ම කවිය තුළ ප්‍රේමය සොයා යන්නට තව බොහෝ ඉසව් ඉතිරි ව ඇත. අරුතක් දිය නොහැකි සිතුවිලි ද ඒ අතර ඉතිරිව තිබිය හැක. ඉතින්, කිව යුතුම ය . කවිය ද කිසිදා කියවා අහවර කළ නොහැකි ප්‍රේමයක්ම ය.

“සුදු ම සුදු හිස් පිටු වලත් ඉඳහිටක කටු බලි ඇදෙනවා
හිනා වෙන්න ම බැරි තැනත් අපි කදුලු හිරකර බදිනවා
සින්නක්කර ලියවුණත් හිත් තවත් හිත් ළග ගැහෙනවා
අයිතියක් නැති තැන්වලත් අපි අයිති නැතුව ම බැඳෙනවා”

සඳුනි දිසානායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required