/
/
title icon සංවර්ධනයේ දුටු නොදුටු පැතිකඩ.
සංවර්ධනයේ දුටු නොදුටු පැතිකඩ.
Editor
1 year ago
Share:
සංවර්ධනයේ දුටු නොදුටු පැතිකඩ.

සංවර්ධනය යන සංකල්පය ගත් කල්හි එය කාලීන වශයෙන් වෙනස්වීමට ලක් වන්නා වූ ගතික සංකල්පයකි. 20 වන සියවසේ මැද භාගය වන විට රටක පවතින ආර්ථිකයේ දියුණුව සංවර්ධනය වශයෙන් හදුනා ගන්නා ලදි. නමුත් පසුකාලීනව මෙය විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදී ගිය සංකල්පයක් බවට පත් විය. 20 වන සියවස අග භාගය වන විට සංවර්ධනය යනු හුදෙක් භෙඋතික හෝ ආර්ථික තක්සේරුවක් පමණක් නොවූ අතර මානුෂ සංවර්ධනයට අව්ශ්‍ය සංරචකයන්ද ඊට ඇතුළත් විය. ඒ අනුව ළදරු මරණ, මාතෘ මරණ අනුපාතිකය, සාක්ෂරතාව, උපතේදී ආයු අපේක්ෂාව, භාණ්ඩ හා සේවා මිළ දී ගැනීමේ අවස්ථාව, අධ්‍යාපන අවස්ථා පුළුල් වීම… යනාදී කරුණු බොහෝමයක් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.
              දකුණු ආසියාතික රටක් වශයෙන් අප ජීවත් වන ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මා දන්නා කලෙක පටන් සිටම සංවර්ධනය වෙමින් පවත්නා රටකි. ශ්‍රී ලංකාව තුළ සංවර්ධනයේ පහසුව තකා පලාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ග්‍රාම සේවා වසම් සහ ගම් වශයෙන් කොටස් වලට බෙදා තිබේ. නමුත් මෙහිදී මෙම අදාල සංවර්ධනය නිවැරදි වශයෙන් සිදු වන්නේද යන්න ගමක වෙසෙන මා ඇතුලු ග්‍රාමිකයන්ට පැන නගින ගැටලුවකි. මන්ද යත් මෙරට රජයන් විසින් සංවර්ධනය යන වචනය පෙරට දමා ගනිමින් සිදු කරන ඇතැම් සිද්ධීන් හා ක්‍රියාදාමයන් දෙස අවධානය යොමු කිරීමෙනි. රටේ පවත්නා වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එය සෘජුවම බලපාන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනයාටය.

වර්තමානය වන විට භාණ්ඩ හා සේවා මිළ දී ගැනීම, ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම, යටිතල පහසුකම් සපුරා ගැනීම යනාදිය ප්‍රධාන ජීවන ගැටලු බවට පත් වී ඇත. භාණ්ඩ හා සේවාවන්ගේ මිල අධික වශයෙන් ඉහළ යාම නිසා වෙනදා නිවසට රැගෙන එන බඩු මල්ල තෙගුණයකින් පමණ අඩු වී තිබේ. එදිනෙදා කුලියක් කර ගනිමින් තම ජීවිතය ගැට ගසා ගන්නා අසරණ මිනිසුන් කබලෙන් ලිපට ඇද දමන ලද ආර්ථිකයක් වර්තමානයේ නිර්මාණය වී තිබීම ඉතාමත් ශෝකජනකය.
මේ අතර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ තත්ත්වයද ඉතාමත් පහල මට්ටමක පවතින බව සියලු දෙනාටම නොරහසකි. නමුත් මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් පවසා සිටින්නේ රට තුළ එවැනි තත්ත්වයන් නිර්මාණය වි නොමැති බවයි. නමුත් ගම් මට්ටමෙන් ගත් විට මේ හා සම්බන්ධ බොහෝ පුවත් මාධ්‍ය හරහා අසන්නට, දකින්නට ලැබෙයි. යුනිසෙෆ් ආයතනය මගින් මෙරට දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව ප්‍රකාශ කළද, එම තොරතුරු අසත්‍ය බව වගකිව යුතු බලධාරීන් පවසයි. එසේ නම් එම ආයතන එවැනි සාවද්‍ය තොරතුරු සමාජය වෙත මුදා හරින්නේ ඇයි? එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? බලධාරීන් විසින් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මේවා තවමත් විසදුම් ලැබී නොමැති ගැටලුය.

පාසල් ශිෂ්‍යාවක් දිවා ආහාරය සදහා පොල් මද රැගෙන ආවා යැයි පුවතක් ඉතාමත් සීඝ්‍රයෙන් සමාජය පුරා පැතිර ගියේය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මති මතාන්තර, අදහස්, උදහස් දැක්වූවද අවසානයේදී එවැනි සිදුවීමක් අදාල පාසල තුළ සිදු වී නොමැති බවට නිර්මාණය කරන ලද පුවතක්ද සමාජගත විය. මෙය සමාජය තුළ පවත්නා දරිද්‍රතාවය නොවේද? එම පුවත් අසත්‍ය නම් ඒවා සමාජය පුරා ප්‍රචලිත කරන්නේ මන්ද? ගින්නක් නොමැතිව දුමක් නගින්නේ නැත. එනම් මේ හා සම්බන්ධ සිද්ධි වාර්තා වන බව අපට තව දුරටත් රහසක් නොවේ. නමුත් මෙවැනි සිද්ධි යම් යම් පාර්ශව විසින් වසන් කිරීමට උත්සාහ දරන් බවක් පෙනේ. තම පාසල් යන දරුවාට පොල් මදයක් දිවා ආහාරය වශයෙන් ලබා දෙන මවගේ සහ පියාගේ අසරණ භාවය කෙතරම්ද යන්න සැප පුටුවල සුර සැප විදින අයවලුන් දන්නේ නැත. එවැනි පුද්ගලයන් මෙවැනි පුවත් ඉතාමත් හාස්‍යයෙන් යුක්තව ඉවතලන්නේ පම්පෝරී ගසමිනි.

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටෙන ළමුන් බොහෝය. මේ රටේ හෙට දවස බාර ගැනීමට සිටින මතු පරම්පරාවයි. එවැනි කෙටි කලක් හෝ සිටගෙන සිටීමට නොහැකි තරම් ළමුන්ගේ පෝෂණ මට්ටම පහලට වැටී තිබේ. ගමේ ගොඩේ පවතින අල, බතල, ධාන්‍ය ආහාරයට ඉතාමත් සුදුසු බව විවිධ අංශ පෙන්වා දෙයි. නමුත් පෝෂ්‍යදායි ආහාර වේලක විවිධත්වයක් තිබිය යුතුය. තම දරුවන්ට සෑම දිනකම අල, බතල ලබා දීමට දෙමාපියන්ට නොහැක. පෝෂ්‍යදායී ආහාර වේලක් තබා කුස පුරවා ගැනීමට හෝ අහරක් සොයා ගන්නේද ඉතාමත් අපහසුවෙනි. මෙවන් තත්ත්වයට මිනිසුන් ඇද දමන ලද්දේ කවුරුන් විසින්ද? සංවර්ධනය මුවාවෙන් සිදු කළ වංචාවන් නොවේද?

සංවර්ධනය යන මුවාවෙන් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරමින්, කොමිස් ගසමින් බලලත් උතුමාණෝ තම යටිමඩි සරි කර ගත්තා මිසක රටේ අනාගතය පිළිබඳ අබමල් රේණුවක තරම් අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵල මේ ලෙසට වත්මන් සමාජය බුක්ති විදිමින් සිටී. අල්ලස් ගනිමින් කොමිස් ගසමින් වංචා සිදු කලේ අසරණ ජනතාව නොවේ. එවැනි සොරකම් වංචා සිදු කරන ලද පිරිස් සමාජය තුළ නිදැල්ලේ රස මසවුලු අනුභව කරමින් සවුදිය පුරති. කිසිම පිළිසරණක්, හව්හරණක් නොමැති අසරණ ජනතාව විදින දුක් ගැහැට උඩ සිටින දෙවියන්ට බාර කරනවා මිසක වෙනත් විසදුමක් පෙනෙන තෙක් මානයක නැත. නමිත් තවමත් ඔවුන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටී. එම බලාපොරොත්තුව සිහිනයක් නොවන දවස වැඩි ඈතක නෝවේවායි මා පතමි.

සනොජා රංහොටිබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required