/
/
title icon තිලිණිගේ වංචාවලට සහය දුන් ජානකී රිමාන්ඩ්.
තිලිණිගේ වංචාවලට සහය දුන් ජානකී රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
තිලිණිගේ වංචාවලට සහය දුන් ජානකී රිමාන්ඩ්.

තිලිණි ප‍්‍රියමාලිගේ මුල්‍ය වංචා සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනූ ලැබූ ජානකී සිරිවර්ධන, ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලූත්කඩේ වැඩබලන මහේස්ත‍්‍රාත් ශිලනි පෙරේරා ඊයේ නියෝග කළා.

ඒ, සැකකාරිය අලූත්කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

බරපතල මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ වංචාවන් සඳහා ආධාර, අනුබල ලබාදීමේ චෝදනා යටතේ රිට්ස් කාල්ටන් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරන ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා දහවල් අත්අඩංගුවට ගත්තා.

ඒ, කොළඹ කොටුවේ පිහිටි රිට්ස් කාල්ටන් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදීයි.

අනතුරුව ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප‍්‍රකාශ කළා.

පෙරේදා රාත‍්‍රිය වන තුරුම ප‍්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධන, ඊයේ අලූත්කඩේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ තිලිණි ප‍්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු වංචනික අයුරින් සිදුකිරීම සඳහා ඍජුවම ජානකී සිරිවර්ධන මැදිහත් වී ඇති අතර, දුරකථන සංවාද පරීක්ෂා කිරීමේදී ඒ පිළිබඳව අනාවරණය වන බවයි.

ඇයගේ ආයතනයට ඉන්දියාවෙන්ද මුදල් ලැබී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට ප‍්‍රකාශ කළා.

ඇයගේ ආයතනයේ සේවකයන්ට මාසිකව රුපියල් ලක්ෂ 50 කට අධික වැටුප් ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ඒ සඳහා මුදල් ලැබී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

මෙහිදී සැකකාර ජානකී සිරිවර්ධන වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ සිය සේවාදායිකාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ මාධ්‍ය බවත්, මේ සම්බන්ධයෙන් කටයුතු මාධ්‍යයට මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

සාක්ෂිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් නානායක්කාර එහිදී ප‍්‍රකාශ කළේ මාධ්‍යකරණයේ වගකීම ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පාර්ශ්වයන්ට වෙඩි තැබීම් සිදුනොකළ යුතු බවයි.

කරුණු සලකා බැලූ අලූත්කඬේ වැඩබලන මහේස්ත‍්‍රාත් ශිලනි පෙරේරා අවධාරණය කළේ සැකකාර ජානකී සිරිවර්ධනයට ඇප ලබාදීමෙන් සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම් එල්ල විය හැකි බවයි.

ඒ අනුව සැකකාර ජානකී සිරිවර්ධන ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required