/
/
title icon කැලණිය වේදිකාවට ජීවය ගෙන ආ අපූරු මිත්‍රයා!
කැලණිය වේදිකාවට ජීවය ගෙන ආ අපූරු මිත්‍රයා!
Editor
1 year ago
Share:
කැලණිය වේදිකාවට ජීවය ගෙන ආ  අපූරු මිත්‍රයා!

ජීවිතේ කියන්නෙ හරි අපූරු තැනක්. ඒ අපූරු ජීවිතේ අපි එකිනෙකා අවස්ථාවට අනුව වෙනස් වෙනවා. අඬනවා ,හිනාවෙනවා, සතුටු වෙනවා,දුක් වෙනවා, පුදුම වෙනවා. ඒ ජීවත් වෙන්න රඟපාන හැටි. ඉතින් මේ කතා බහ දිග හැරෙන්නෙ රඟපාමින් ජීවත් නොවී රංගනය ජීවිතේ කරගත්ත තරුණයෙක් එක්ක !

ආයුබෝවන්!

ආයුබෝවන්!

කතා බහ පටන් ගන්න ප්‍රථමයෙන් අපි ඔබව හඳුනාගමු?

මම උදක හර්ෂ වික්‍රමනායක. ගම කුලියාපිටිය. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලැබුවා. දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අවසාන වසර අධ්‍යාපනය හදාරනවා.

කොහොමද ඔබ වේදිකා නාට්‍ය රංගනයට යොමු වෙන්නෙ?

ජීවිතේ අපි හැමෝටම තියෙනවනෙ මොකක් හරි එක හැරවුම් ලක්ෂයක් ඔයා යන්න ඕනි මෙන්න මේ පැත්තට කියලා පැහැදිලි කරවන. මගෙ ජීවිතේ ඒ තැන තමයි රංගනයට යොමු වීම. ඒකට මූලික පදනම වැටෙන්නෙ දහම් පාසලෙන්. පසුව ක්‍රමවත්ව මාව ඒ කරා යොමු වෙන්නෙ කුලියාපිටිය බටහිර සංස්කෘතික මධ්‍යස්ථානයේ ළමා නාට්‍ය පාඨමාලාව හරහා. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය ,අපේ පාසලේ නාට්‍ය හා රංගකලාව උගන්නවපු ධම්මික සර් මට සංස්කෘතික මධ්‍යස්ථානයෙන් හමුවෙනවා. ඒ හඳුනා ගැනීමෙන් අනතුරුව රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කළ “පැණි පිරිලා මල් වත්තේ ” ළමා නාට්‍ය හරහා පාසල් ජීවිතේ රංගනයට පළමු පියවර තියනවා.

ඒ පියවර සමඟ ඔබ රංගනය තුළ ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වුණා ?

ඔව් ! ඊළඟට මට රංගනය ඇතුළෙ දළුලන්න ලියලන්න අවස්ථාව නිර්මාණය කරන්නේ වසන්ති පුෂ්පලතා මිස්.එහි දී ඇය උසස් පෙළ ශිෂ්‍යන් සමඟ ටවර්හෝල් නාට්‍ය තරඟාවලිය සඳහා ඉදිරිපත් කළ වෙස්සන්තර නූර්තියේ සාලිය චරිතයෙන් ආරම්භ කළ ගමන තුළ මට ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වුණා.

එම ජයග්‍රහණ ගැන මතක් කළොත්?

2012 රාජ්‍ය නාට්‍ය උළෙලේ පාසල් අංශය නියෝජනය කළ “මකරා” නාට්‍ය ප්‍රථම ස්ථානය හිමි කරගන්නවා. 2015 – සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ ” වලහා” නාට්‍යයට ‘හොඳම නළුවා’ සම්මානය, 2016 සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය ” අවතාරය” නාට්‍යයේ ‘හොඳම නළුවා’ සම්මානය , 2017 සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියේ ” හැම්ලට්” නාට්‍යයේ ‘හොඳම නළුවා’ සම්මානය, 2017 වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේ ‘හොඳම අංගරචනයට” හිමි සම්මානය, 2018 ඒකළ භාෂණ නාට්‍ය වර්ගයේ ‘දෙවන ස්ථානය’, 2018 ටවර් හෝල් නාට්‍ය ‘හොඳම නළුවා’ සම්මානය වගේ ම 2018 වසරේ දීම වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේ ‘ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන’ හිමි කරගන්න හැකි වුණා.

මේ සියලු ජයග්‍රහණ සමඟ ඔබ තවත් ජයග්‍රහණයක් හිමිකරගන්නවා ‘විශ්ව විද්‍යාලයට තේරී පත් වීම’. ඒ හරහා ඔබේ ජීවිතේට ලබා ගත්ත පන්නරය ගැන කතා කරමු.

විශ්ව විද්‍යාල ගමන කියන්නෙ මට සාමාන්‍ය පෙල ලියපු දවසෙ ඉදන් තිබුණු හීනය. ඒ හීනය කැලණිය විශ්ව විද්‍යාලය හරහා හැබෑ වෙනවා. ඇත්තටම මේ විශ්ව විද්‍යාල ජීවිතය තුළ විෂයානුබද්ධවත් ප්‍රායෝගික ජීවිතේ තුළත් බොහෝ දේවල් ග්‍රහණය කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසාම විශ්ව විද්‍යාල ජීවිතේ කියන්නේ විදිය යුතු දෙයක් විදිහට මම දකිනවා. එහිදී සමාජේ එකිනෙකට වෙනස් මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙනවා.
අපිට නාට්‍යක් රඟපාද්දි එක එක චරිත ලැබෙනවා. නමුත් විශ්ව විද්‍යාල ජීවිතේ ඇතුළෙ ඒ චරිත මට මුණ ගැහෙනවා.එහෙම චරිත ගොඩක් එක්ක එක්ක වැඩ කරන ගමන් ජීවිතේ එක එක කොටස් ගොඩ දාගන්න පුලුවන් පාර හදාගන්න අපි මහන්සි වෙනවා. ඒ කියන්නෙ ජීවිතේ මෙන්න මේකයි කියන එක ප්‍රායෝගිකව ඔප්පු වෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ ඒ තමයි ජීවිතේකට ලැබෙන්නම ඕන පන්නරය!

රංගනය හා විශ්ව විද්‍යාල ජීවිතේ බද්ධ වෙන්නෙ කොහොමද?

මම විශ්ව විද්‍යාලයට එන්නේ 2019 වසරෙ. අනධ්‍යන සේවක වැඩ වර්ජනය, පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 , ආර්ථික අර්බුදය වගේ එක දිගට ගලා ගෙන ආව ප්‍රශ්න එක්ක අපි නිවසට කොටු වුණා. මට විශ්ව විද්‍යාල ජීවිතය තුළ නිදහසේ ගත කරන්න ලැබෙන්න පළමු වසර පමණයි. ඒ වසර තුළ විශ්ව විද්‍යාලය තුළ පැවැත් වූ “කලන” නාට්‍ය තරගාවලියේ ‘ ප්‍රථම ස්ථානය දිනූ Colors නාට්‍යය සඳහා ‘හොඳම නළුවා’ සම්මානය, මංජුසාව කලා උළෙලේ නාට්‍ය අංශයේ ‘ හොඳම නළුවා’ සම්මානය, එහි ප්‍රථම ස්ථානය දිනූ “පේන්ටින්” නාට්‍යය සඳහා ‘හොඳම අංග රචනය’ට හිමි සම්මානය ලබා ගැනීමට හැකි වෙනවා. “පොකට්” කෙටි චිත්‍රපට හා පිටපත් රචනය සඳහා තෙවන ස්ථානය ද එහිදී හිමිකරගන්න අවස්ථාව ලැබෙනවා.

අවස්ථා කිහිපයකදීම අංගරචනය සඳහා ඔබ සම්මාන හිමි කරගෙන තිබෙනවා. ඒ සඳහා ඔබ යොමු වෙන්නෙ කොහොමද?

එහි සම්මානවල ගෞරවය මගෙ සහෝදරයා, රුවන් සමරකෝන් නම් සම්මානනීය අංග රචනා ශිල්පියාට සම්පූර්ණයෙන් හිමි විය යුතුයි. ඔහු අවුරුදු ගණනාවක් රාජ්‍ය නාට්‍ය උළෙලේ , රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ වගේම මනමේ හා සිංහබාහු නාට්‍ය නිර්මාණ සඳහා ද අංග රචනයෙන් දායක වුණා. ඔහු ප්‍රායෝගිකව මට ඒ පිළිබඳ පුහුණුව ලබා දුන්නා. වේදිකා නාට්‍ය අංග රචනය ඒ නිසා ම මට හුරු පුරුදු දෙයක්!

ඒ හරහා ඔබට ටෙලි නාට්‍ය අංග රචනයට වගෙම ටෙලි නාට්‍ය රංගනයට අවස්ථාවක් ලැබුණා නේද?

ඇත්තෙන්ම ඔව්! විශ්ව විද්‍යාල තුළ මට හමු වුණු සිනමා හා රූපවාහිනි අධ්‍යනය හදාරන මගෙ සහෝදර දක්ෂයො දෙන්නෙක් මාර්ගයෙන් තමයි මට ඒ අවස්ථාව හිමිවෙන්නෙ. හර්ෂ පෙරේරා සහ ලක්මාල් සඳරුවන් . මට ඔවුන් හරහා “ස්නැප්” ටෙලි නාට්‍යයේ අංග රචනයට මුලින්ම අවස්ථාව ලැබෙනවා. පසුව “වියළි” , “Metro හීන”, කියාදෙන්න ආදරේ තරම් කියන නිර්මාණ තුනට අංග රචනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහි දී “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ කොටසක චරිතයකට රංගනයෙන් දායක වීමටත් අවස්ථාව ලැබුණා.
ඒ වගේ ම ” Metro හීන” හරහා මුණ ගැහුණු ශාලිත වර්ණකුලසූරිය නම් නිහතමානි දක්ෂ අංග රචනා ශිල්පියාගෙන් ටෙලි නාට්‍ය අංග රචනය පිළිබඳව හැදෑරීමට ද මට අවස්ථාවක් හිමිවුණා. ඊට අමතරව කෙටි චිත්‍රපට කිහිපයකට ද දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඔබේ මේ සාර්ථකත්වය කරා යන ගමනේ ශක්තියක් වූ අය මතක් කරමු?

පාසල් කාලට තුළ ධම්මික සර්, වසන්ති පුෂ්පලතා මිස්, පාසල් නාට්‍ය කණ්ඩායමේ ලඟින් ම සිටි ආදරණීය සහෝදර සහෝදරියන් මතක් කළ යුතුමයි. ඒ වගේම අංග රංචනයට මාව යොමු කළ රුවන් සමරකෝන් අයියා,විශ්ව විද්‍යාල ජීවිතයේ හමු වූ සියලු ගුරුවරුන් වගෙම සොඳුරු සහෝදරත්වයත් මතක් කළ යුතුයි.

අංකුර නිර්මාණ කරුවෙක් කලාකරුවෙක් විදිහට වර්තමානයේ කලාව පවතින තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම අපි ජීවත් වෙන මේ තත්පරේ මිනිස්සුන්ට කලාව කරන්න, නිර්මාණශීලීව හිතන්න වෙලාවක් නෑ. හේතුව, කලාව කළොත් ජීවිතේ අතහැරෙනවා! ජීවත් වුණොත් කලාව අතහැරෙනවා! ඉතින් මිනිස්සු ජීවිතේ තෝරගන්නවා!

අවසාන වශයෙන්, ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද

බලාපොරොත්තු ගොඩක් තියෙනවා.ඒ වගේම හැම තත්පරයකම අලුත් දෙයක් ඉගෙන ගන්නවා.මිනිස්සු එක්ක මනුස්සයෙක් විදිහට ගනුදෙනු කරනවා.ඉතින්, හෙට දවසෙ මොනවා වෙයිද කියන එක අවිනිශ්චිත නිසා ම, හැමදේම වෙන්නෙ හොඳට කියලා හිනාවකින් ජීවිතේට මුහුණ දෙන එක තමයි ඒ අතර මට තියෙන හොඳම බලාපොරොත්තුව !

ස්තූතියි ඔබට !

සඳුනි දිසානායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required