/
/
title icon මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්.
මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්.

 

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිප දෙනෙකුට පහර දී කෘරත්වයට පත් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් මිල්ලනිය ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කේමින්ද පෙරේරා නියම කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ පාසලේ ගුරුවරියක හා මිල්ලනිය පොලිසියේ රියදුරා ඇප මත මුදා හරින ලෙසයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ පාසැලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි පවසමින් සැකකරුවන් විසින් දරුවන් පිරිසක් කෲරත්වයට පත් කර ඇති බවයි.

සැකකාර විදුහල්පතිවරිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරිය දරුවන් කිහිපදෙනෙකු පුස්තකාල ශාලාවට ගෙන ගොස් දණ ගස්වා ඔවුන්ගේ පාදවලට හා විලූ‍ඹට වේවැල් වලින් සහ ලී පතුරුවලින් පහර දී ඇති බව ඔවුන් පැවසුවා.

පසුව පොලීස් ජීප් රථයක් පාසැල තුළට ගෙන්වා ගෙන පොලීසියට භාර දී තිබෙනවා.

අනතුරුව ජීප් රථයේ සිටි සැකකාර පොලිස් නිලධාරීන් ජීප් රථයේ තිබෙන ”‍වෝකිටෝකි‘ ගමන් කථන යන්ත‍්‍රවලට විදුලිය සපයන විදුලි රැහැන් වලින් අදාළ දරුවන්ගේ දණිස් පුළු‍ස්සා ඇති අතර පසුව මුදල් පසුම්බිය පෙන්වීමට යැයි පවසමින් අදාළ දරුවන් පාසල අසල තිබෙන කැලෑ ප‍්‍රදේශයට ගෙන ගොස් සැකකාර පොලිස් නිලධාරීන් විසින් පුවක් මල්වලින් දරුවන්ට පහර දී ඇති බවද මෙහිදී හෙළි වුණා.

මෙම පහරකෑම නිසා අසාධ්‍ය වූ දරුවකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ එම අධිකාරියේ නිලධාරීන් මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවයි කියා සිටියේ.

මෙම සිද්ධිය මුල් කරගෙන අදාළ ප‍්‍රදේශයේ උද්ඝෝෂණ වැනි මහජන කැළඹීමක් හටගත් බවත් ඒ පිටුපස සැකකාර විදුහල්පතිවරියගේ බලපෑම් තිබෙන බවට සැකකළ හැකි තොරතුරු හෙළිවී ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම අධිකාරිය සදහන් කළා.

ඒ අනුව සැකකරුවන් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම චෝදනා ප‍්‍රතික්ෂේප කළ විත්තියේ නීතිඥවරු අදාළ පාසැල තුළ විදුහල්පතිවරිය සහ ගුරුවරුන් පිරිසක් අතර ගැටුමක් පවතින අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධිය නිර්මාණය වී ඇතැයි චෝදනා කළා. තම සේවාදායකයින් කිසිදු ආකාරයක පහරදීමක් නොකළ බව පැවසූ විත්තියේ නීතිඥවරු සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required