/
/
title icon සිල්ලර කාසිවලට හිස නමන මනුස්සකම්.
සිල්ලර කාසිවලට හිස නමන මනුස්සකම්.
Editor
1 year ago
Share:
සිල්ලර කාසිවලට හිස නමන මනුස්සකම්.

වර්තමාන ලෝකය විවිධ අංශයන්ගේ දියුණුවත් සමග ඉතාමත් සීඝ්‍රගාමී ගමන් මාර්ගයක ඉදිරියට ගමන් කරමින් සිටී. මෙම ගමන් මගෙහි මිනිසාට විවිධ තාඩන පීඩන වලට, ගැරහුම් වලට, අපහසුතාවන්ට ලක් වීමට නිතැතින්ම සිදු වේ. මන්ද යත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි අටලෝ දහමට මේ මුලු මහත් ලෝකයම යටත් වන බැවිනි. 21වන ශතවර්ෂයේ මිනිසුන් ඉතාමත් තරගකාරී, කාර්‍යබහුල දිවි පෙවෙතකට හිමිකම් කියන්නේද අනෙකා පරයමින් තමා ඉහලට යා යුතු බව පිළිබඳ ඇති කර ගන්නා ලද හීනමානික අදහස් හා මතිමතාන්තර නිසාම මුදල මත සියලු දේ විසදෙන , මුදල මත සියලු තීරණය කරනු ලබන සමාජ වටපිටාවක් බිහි වී තිබීම එක් අතකට අරුමයක්ද නොවේ. මෙම ක්‍රමය යටතේ බිහි වී ඇති සමාජ වටපිටාව නිර්මාණය වීම උදෙසා විවිධ සමාජ තත්ත්වයන් මූලික වූ බවද අප මතක තබා ගත යුතුය.

මෙසේ මුදල මත නිර්මාණය වූ සමාජය තුළ මිනිසත්කම බල්ලට දමා ඇති තත්ත්වය දෙස අප බැලිය යුත්තේ උපහාසයෙන්ද? එසේත් නැතිනම් සෝපාහාසයෙන්ද? යන්න ගැටලුවකි. නැතහොත් වර්තමාන මිනිසුන් අවිඣණිකව මෙම ක්‍රමයට යටත් වන්නේද යන්න තවත් පසෙකින් නැගෙන ගැටලුවකි. මෙසේ වත්මන් සමාජය තුළ මුදලට විකිණෙන අංශයන් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය , නීතිය යන අංශ මූලිකත්වය ගෙන තිබේ.

අධ්‍යාපනය යනු සෑම මිනිසෙකුගේම අයිතිවාසිකමකි. මෙම ක්‍රමය යටතේ රජයේ පාසල්, රජයේ විශ්ව විද්‍යාල යනාදී වශයෙන් ඕනෑම අයෙකුට අධ්‍යයනය හැදෑරීමට හැකි ආයතන සමාජය තුළ නිර්මාණය විය. දක්ෂතාවය සහිත දරුවන් පාසල් අධ්‍යාපනයෙන් නොනැවතී උසස් අධ්‍යාපනය දක්වා විශ්ව විද්‍යාල වලට යොමු වෙති. එසේ ලබන උපාධිධාරී උගතුන් විවිධ රැකියා වලට යොමු වී ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන ලබා ගත් දැනුමෙන් ජනතාවට සේවය කරති. නමුත් මෙම තත්ත්වය වර්තමානය වන විට හාත්පසින්ම වෙනස් වී තිබේ. මිනිසා ගමන් කරන තරගකාරී ලෝකය තුළ අනෙකා පරයමින් තම සමාජ පන්තිය නියෝජනය වීම උදෙසා දරුවන් භාවිතා කරයි. එනම් කෙසේ හෝ තම දරුවා උසස් පාසලකට ඇතුලත් කර හෝ පෞද්ගලික, උසස් යැයි සමාජය විසින්ම නිර්මාණය කර ගන්නා ලද විශ්ව විද්‍යාල වලට යැවීමෙනි.

බොහෝ විට මෙම තත්ත්වය වෙත ගමන් කිරීම උදෙසා සුදුසුකම් නොමැති වූ විට විවිධාකාරයෙන් අල්ලස් ලබා දෙමින් ඒ සදහා යොමු වන්නේ හුදු මාන්නය සැමට වඩා ඉහල බැවිනි. දිනෙන් පාසල්, අධ්‍යාපන අංශ ප්‍රධානීන් යනාදී බොහෝ දෙනා අල්ලස් ලබා ගත් පුවත් අසන්නට දකින්නට ලැබේ. ඒ වාර්තා වන කිහිපයක් පමණි. එසේ නොමැතිව වාර්තා නොවන සිදුවීම් තව කෙතරම් නම් සමාජය තුළ පවතිනු ඇද්ද? ඇතැම් විටෙක සිදුවන බරපතල තත්ත්වය නම් සුදුස්සාගේ අවස්ථාව ඉවත් කර දමා මෙම අල්ලස් ක්‍රමයෙන් සුදුසුකම් නොලත් පිරිසකට වරප්‍රසාද හිමි වීමයි. මේ සියල්ල සිදු වන්නේ සිල්ලර කාසි වලට යටත්වය. මුදලට තම හෘද සාක්ෂිය පාවා දෙමිනි.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අප සියල්ලෝම කැමතිය. මිනිසාගේ අවශ්‍යතා අතර සෞඛ්‍ය අංශයට ප්‍රධාන තැනක් හිමි වන්නේද එබැවිනි. ශ්‍රී ලංකා රජය තුළ සෞඛ්‍ය රජයේ අංශයක් බවට පත් කර තිබෙන්නේද සියලු දෙනාට මනා නිරෝගී බවක් ලබා දීමේ අරමුණෙනි. නමුත් වර්තමානය වන විට රජයේ රෝහල් අභිබවා පෞද්ගලික රෝහල්, ප්‍රතිකාර මධ්‍යස්ථාන හිස ඔසවා තිබෙන්නේ මුදල මත සියල්ල තීරණය කරනු ලබන සමාජය නැවතත් විදහා පෙන්වමිනි. රජයේ රෝහල් වල නොමැති පහසුකම් පෙන්වා දෙමින් පෞද්ගලික රෝහල් වලට රෝගීන් ගෙන්වා ගැනීම නිරන්තරයෙන් සිදු වන්නේ රෝගියාගේ මනස තමා දෙසට නම්මවා ගනිමිනි. උසස් යැයි හැගෙන ඉහළ පැලැන්තිය තම තත්ත්ව, ගරුත්වය පිළිබද සිතමින් මෙම පෞද්ගලික රෝහල් සේවය ඉහලින්ම ලබා ගනී.

නමුත් මුදල් නැති අසරණ දුප්පත් මිනිසා රජයේ රෝහල කෙරෙහි විශ්වාසය තබා සිටියද ඔවුනට නිසි සෞඛ්‍ය ප්‍රතිකාර හිමි වන්නේශ යන්න ගැටලුවකි. මෙම රෝහල් සේවය තුළ ද අල්ලස්, දූෂණ, වංචා බොහෝ සෙයින් සිදු වේ. මෙසේ අන්ත අසරණ වී පැමිණෙන රෝගීන්ගෙන් අල්ලස් ලබා ගන්නා උගතුන් මිනිසුන් නම් විය නොහැක. “ ආරෝග්‍යා පරමා ලාභා” නීරෝගීකම පරම සැපත බැවින් තමා සන්තකයේ පවත්නා සියල්ල හෝ උගසට තබා නීරෝගී බව ලබා ගැනීමට පෙළඹෙයි. මෙම සමාජ තත්ත්වය නිර්මාණය කිරීම උදෙසා සමාජයේ විවිධ කණ්ඩායම් හේතු වූ බවද අප සිහි තබා ගත යුතුය. අවාසනාවකට මෙවැනි සිද්ධි බොහෝමයක් මුදල් බලය නිසාම යට ගසන අවස්ථා ද ඉතාමත් බහුලය.

මෙපමණක් නොව රටේ නීතිය, සංස්කෘතිය යනාදී සියල්ලෙහිදීම මුදල් බලය මත මනුසත්කම විකිණෙන අවස්ථා එමටය. මාර්ගයේ මාර්ග නීතී උල්ලංඝනය කරන ධනපතියා පිළිබඳ කිසිදු තැකීමක් නොකරන පොලිස් නිලධාරින් දුප්පත් අසරණ මිනිසාට නීතිය දැඩිව ක්‍රියාත්මක කරයි. පැමිණිල්ලේ වැරදිකරු ධනවත්, බලවත් පුද්ගලයෙකු නම් එම නඩුව පොලීසියෙන් පිටට පැමිණෙන්නේ නැත. රටේ පොදු ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන පොලිස් නිළධාරියා අසාධාරණයට එරෙහිව ක්‍රියා කරනවා වෙනුවට කාසි පනම් වලට හිස නමයි. නීතිය පසෙක දමා තම යටිමඩි සරි කර ගැනීමට පෙළබෙයි. මීට අමතරව සංස්කෘතික කාරණා වලදී ද තත්ත්වය එසේමය. දේශපාලනයේදී නම් මෙවැනි සිද්ධි නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබේ. ඇතැම් විටෙක මෙම කරුණු සමාජයේ සාමාන්‍යකරණයට ලක් වී ඇත්තේ මිනිසා එයට හුරු වී ඇති නිසාමය.

රටක අල්ලස්, දූෂණ, වංචා යනු එරට සංවර්ධනයේ දොරටු අවහිර කරන සාධකය. මෙවන් තත්ත්වයක් මත රටක් සංවර්ධනය කරා රැගෙන යා නොහැක. ආයතනයක වුවද අවංක නිළධාරින් අවම වන තරමට එම ආයතනය කඩා වැටීමට ලක් වේ. රටක්ද එසේමය. එසේ නම් රටක් ගොඩනැගීම උදෙසා අවශ්‍ය වන්නේ අවංක නිළධාරීන්‍ ය. සුදුස්සාට සුදුසු තැන ලබා දෙන සමාජයක්‍ ය. අනෙකා පරයා ගමන් කිරීමට නොව අනෙකා සමග ගමන් කිරීමට තරම් මිනිසා මානුෂික විය යුතුය. තමා තුළ සැගවී සිටින මනුෂ්‍යත්වයෙන් හෙබි පුද්ගලයා පිටතට ගත යුතුය. තම හෘද සාක්ෂියට සාධාරණයක් ඉටු කරමින් අනෙකාගේ හැගීම් වටහා ගනිමින් අනෙකාගේ ගරුත්වයට හිස නමන පිරිසක් රට තුළ බිහි වූ දාට මෙරට සංවර්ධනය වෙමින් පවත්නා ලේබල් එකෙන් මිදී සංවර්ධනය කරා ගමන් කිරීමට හැකි වනු ඇත.

සනෝජා රංහොටිබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required