/
/
title icon මුස්ලිම්වරුන් අතර සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රථම ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහයේ කවියා.
මුස්ලිම්වරුන් අතර සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රථම ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහයේ කවියා.
Editor
1 year ago
Share:
මුස්ලිම්වරුන් අතර සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රථම ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහයේ කවියා.

අඳුරක අතරමන් වීමට වඩා
ආලෝකයක පසුපස යාම
ගමනාන්තයක් දෙසටම
රැගෙන යයි ඔබ නිසැකවම

ආතමයට පාර පෙන්වන
ආලෝකයක් සොයා ගැනුමට නම්
අන්ධකාරයේ මාරුතයන්
පසුකළ යුතුමයි ඔබ…

ඕනෑම සංස්කෘතියකට අයත් කලාවක් තියෙනවා. කවියත් අයිති ඒ කලාවට. මුස්ලිම්වරුන්ටත් කලාවක්, සාහිත්‍යයක්, කාව්‍යකරණයක් තියෙනවා. අරාබි ජාතිකයන්ට ආවේණික අරාබි හා පර්සියානු කාව්‍යකරණයක් තියෙනවා වගේම දකුණු ආසියානු කලාපයේ ලාංකීය මුස්ලිම්වරුන්ටත් ඔවුනට ආවේණික කාව්‍යකරණයක් තියනවා.

ඉතින්, සිංහල භාෂාවෙන් ඉස්ලාමීය කාව්‍යකරණයට නතු වුණු අපේ යුගයේ කවියා, මිනාස් ආයුබෝවන්

ආයුබෝවන්

ඔබ වැනි කවියෝ ලංකාවේ හරි දුර්ලබයි. ඒ දුර්ලබ අවස්ථාවක අපේ සංවාද පටන් ගන්නට මත්තෙන් ඔබව හඳුනාගෙන හිටියොත් හොඳයි.

නම, එම් එන් එම් මිනාස්. මොහොමඩ් නව්ශාඩ් මොහොමඩ් මිනාස්. පදිංචිය නුවරඑළිය.පාසල මතක් කරොත්, නුවරඑළිය අප ස්වාමි දූගේ පාසල – ප්‍රාථමික අධ්‍යයනයෙන් පස්සේ නු/ගාමිණී ජාතික පාසලෙන් අධ්‍යයනය හැදෑරුවා. ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රිස්තියානි පාසලකින් සහ කනිෂ්ඨ අධ්‍යාපනය බෞද්ධ පාසලකින් සම්පූර්ණ කළ ඔහු ඔහුගේ උසස් අධ්‍යාපනය හැදෑරීම දැනට ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයනය සහ අරාබි භාෂා පීඨයේ ශාස්ත්‍රවේදී ගෞරව ඉස්ලාමීය බැංකුකරණය හා මූල්‍යකරණය උපාධිය හදාරමින් ඉන්නවා.

අවිශද මාරුත අතරින් ක්ෂේමයන් සොයා යන්නට කලියෙන් ඔබ ආව මාවත ගැන ලොකු කතාවක් ඇති. මොකද අපි ඔබව දකින්නේ මීට වසර ගණනාවකට කලියෙන් මුහුණුපොතේ අකුරු කෙරූ තරුණයෙක් ලෙසින්,

ඔව් අනිවාර්යයෙන්ම.
මම මුස්ලිම් තරුණයෙක්. ඒ වගේම මගේ මව් භාෂාව සිංහල. මම ගියේ සිංහල පාසලකට. මම උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. සිංහල, ඉස්ලාම් ධර්මය, දේශපාලන විද්‍යාව තමයි හැදෑරුවේ.

 


කවියක් හරියට රහ විදින්න ඉගෙන ගත්තේ උසස් පෙළ සිංහල නූතන පද්‍ය, පුරාතන ගද්‍ය සංග්‍රහ ඒවායේ විචාරයන් රසවින තැන මගේ කවි සිතුවිලි වල උපත කිව්වොත් ඒක නිවැරදි.

ඉන් පස්සේ උසස් පෙළෙන් අනතුරුව කවියට සමු දීමක් නොව, පණ පොවන්න ගත්තා?

ඔබ නිවැරැදි. මුලදි මම මට ආව අදහස් පොඩි පොඩි කොල වල ලියන්න ගත්තා. එහෙම කවි එකතුවක්ම මං ලඟ තියෙනවා.

“ප්‍රබෝධය” සඟරාව ඒ කියන්නේ සිංහල භාෂාවෙන් තියෙන ඉස්ලාමීය මූලික සඟරාවට කවි, නිසදැස් ලියන්න පටන් ගත්තා.

පසුව ඔබ කිව්වා වගේම මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් කවි එක දෙක ලියන්න ගත්තා.ඒවාට ලොකු ඇගයීමක් ලැබෙද්දි හිතට තෘප්තියක් ලැබුණා. එහෙම කාලයක් විශ්වවිද්‍යාලයට වරම් ලැබිලා නිවසේ රැදුණු කාලය තුළ කවි ගොඩක් පළ කරා.

ඉන් පස්සේ මම අග්නි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණේ. ඉතින් මෙතනදි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ” අග්නි පන්හිද” නම් ඉංජිනේරු පීඨයේ මුහුණු පොත් සඟරාවට කවි පල කරන්න පටන් ගත්තා. මාව විශ්වවිද්‍යාලයේ පිරිසත් මොහු කවි ලියන්නෙක් බව දැනගන්නේ එතනින්. හැමෝගෙම ප්‍රශංසාව ලැබුණා. ඒක මට ලොකු පන්නරයක් වුණා. ඔන්න ඔහොමයි මගේ මේ ගමන පටන් ගන්නෙ.

ජිවිතේ කියන්නේ ගඟක් නම් ඒ ගඟ ගලා යන්න නම් නොයෙකුත් සංධිස්ථාන පහු කරන්න ඕනේ.මම දන්න විදිහට ඒ ගමනේ විශේෂ අවස්ථා පටන් ගන්නේ ඉන් පස්සේ,

ඇත්තෙන්ම. ඔහොම කාලයක් යද්දි ලංකාවේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අනුබද්ධ සාහිත්‍ය සංසද තියෙනවා. කියන්න ඕනෙ තිබ්බෙ දමිළ භාෂා සාහිත්‍ය සංසදයක්. ඒ අතර,මම ඇතුළු
ප්‍රවීණ ලේඛිකා සෙනීෆා සනීර්
කථිකාචාර්ය සකීෆ් සාම්
ඉංජිනේරු අස්මා හනීෆා
කිවිඳිය ෆාතිමා බෙසූන
කැළනිය විශ්ව විද්‍යාලයේ සමාජ ක්‍රියාකාරීනි ෆායිකා නජුමුදීන් යන සිංහල සාහිත්‍ය ලේඛයයන් එකතු වෙලා යෝජනා කරා සිංහල සාහිත්‍ය සංසදයක් පිහිටුවන්න. ඒ යෝජනාව අධ්‍යක්ෂකවරයා හඳවතින්ම පිළි ගත්තා.අපිට බොහොමයක් උදව් කරා.

ඒ අනුව අපි “පන්හිඳක අරුමය” ලේඛකයන් සවිබල ගැන්වීම මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ක වඩසටහනක් සංවිධානය කරා.ඒ ඔස්සේ ඉස්ලාමීය සිංහල භාෂාවේ ලේබකයන්ගේ හැකියාව පෙන්වන්න අවස්ථාව උදා වුණා. මෙහිදී අපි ලිවීමේ වැදගත්කම, කවිය, සාහිත්‍ය වැදගත් වන්නේ ඇයි යන තේමා ඔස්සේ සමුද්‍රිකා ද සිල්වා මහත්මිය ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් එක් කරගෙන වැඩසටහන පැවැත්වූවා.

මම ඔබෙන් ඇහුවොත් ඉස්ලාමීය දර්ශනය ගැන කවි ලියන්න හිතුවේ ඇයි ?

මට කියන්න දෙයක් තියෙනවා. භාෂා නිසා මේ සමාජයේ බෙදීමක් මේ තියෙන්නේ. සමාජ දෙකම සමානයි වෙනසක් නෑ. මුස්ලිම් මිනිස්සු පැවතගෙන එන්නෙත් කලාවකින් සුපෝෂණය වූ සංස්කෘතියකින්. ක්‍රිස්තියානි ආගමත් සුවිශේෂී. එයාලගේ ගීතිකා හරහා අපි ඉගෙන ගන්නවා ජේසුතුමාගේ ඉපදීම ජීවිතේ විවිධාකාර සංධිස්ථාන ආදිය.
මා නියෝජනය කරන සංස්කෘතියේත් මෙවැනි අංග තියෙන නිසා සංහිඳියාව තියන එක බලාපොරොත්තු වුණා.

ඒ නිසාම ඉස්ලාමීය සංස්කෘතියේ අදහස්, වටිනාකම් සිංහල භාෂාවට කවියෙන් පෙරළුවා.එතකොට අර භාෂාව නොදැන අඳුරේ අත පත ගාලා නොදැනුවත්ව නගන හැමදේම ආදරය,කරුණාව,සමාජ සම්මත ආදිය අනෙක් හැමෝම දැනගන්න ගත්තා.

සූෆි කවිය ඔබේ ජිවිතේ වෙනස්ම පැත්තකට පෙරළපු දෙයක් ඒ ගැන අපිත් දැනගන්න කැමති,

සුෆි කවිය කියන්නේම ගුප්ත කවි ආරක්. මේ කවියෙන් දෙන්නේ ආධ්‍යාත්මික තෘප්තියක්. මමත් ජලාල් උද්දීන් රූමිගේ කවි ඉංග්‍රීසි බටහිර පරිවර්තන කියවලා අධ්‍යයනය කරන්න ගත්තා.

ඔබත් ඒ නිසාම සුෆි කවිය අනුගමනය කරන ගත්තද,

නෑ.ඒකේ රස මට දැනෙන්න ගත්තා. ඉබේම මමත් ඒ කවියට හුරු වුණා. ඕනෙම දෙයක රසය රසවත් වෙනකම් අපි රැදිලා ඉන්නවා.මම ස්වභාවයෙන්ම ලියන්න ගත්තා. ඒ තුළ ආධ්‍යාත්මික වටිනාකම්, ආදරය,කරුණාව වැනි දෑ ගොනු කරා. ඔන්න ඔහොමයි මම සූෆි කවියට ප්‍රවේශ වුණේ.

සූෆි කාව්‍ය ආරෙන් ලියවුණු “අවිශද මාරුත අතරින් ක්ෂේමයන් සොයා” ඔබේ කුළුදුල් කාව්‍යකරණය ඒ ගැන දැන ගන්න බොහෝ දෙනෙක් කුතුහලයෙන් ඇති.

ඔව්. ලංකාවේ ප්‍රථම සිංහලෙන් ලියූ ඉස්ලාමීය කාව්‍ය සංග්‍රහය ඒ. මනුෂ්‍යාගේ ආධ්‍යාත්මයට කතා කිරීම සංස්කෘතික වටිනාකම් ගැන කතා කරන්න පුළුවන් වුණා කවියෙන්.

සමාජයකට නීති ඇයි කියලා ඇහුවොත් ඔබත් කියාවි එහෙම නැතුව බෑනෙ කියලා. ඒත් නීති දාලා තියාගන්න දේවල් නීතියෙන් හදාගන්න බැරි තැනක් එනවා. දෙමාපියන් රැක ගන්න, ගුණ ධර්ම සාරධර්ම රකින්න නීති දාන්න අපිට බෑ වගේ.

ඒත් අපිට කලාව භාවිතා කරලා මේක හදන්න පුළුවන්. කලාව සමාජයට අත්‍යවශ්‍යයෙන්ම ඕනෙ එක කාරණාවක් ඕක. ඒ කලාව මගේ කවියම වෙන්න ඕනෙ නෑ. නාට්‍ය, කතා, න‍ර්තනයන්, කෙටි චිත්‍රපට ඒ හැමදේම වෙන්න පුළුවන්. කලාවට පුළුවන් මිනිස්සුන්ගේ ඇතුලාන්තයට කතා කරන්න. ඔහුට නොදැනී බලපෑම් කරන්න පුළුවන්. ආධ්‍යාත්මයට තට්ටු කරලා කරන්න පුළුවන් එකක් ඒක. ඉතින් මගේ පොත් එහෙම දේවල් වලින් පිරුණු එකක් මම දන්න විදිහට.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පොතක් කරද්දි ගොඩක් ප්‍රශ්න එනවා. මිනාස් ඔබටත් ඒ ප්‍රශ්න ඒ විදිහටම අත්විදින්න සිද්ධ වෙන්න ඇති,

පොතක් කරද්දි ප්‍රශ්න ගොඩක් එනවා. ලංකාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පිටරටවල තරුණ ප්‍රජාවට වඩා හාත්පසින්ම වෙනස්. ඒක ඔබටත් පොදුයි මටත් පොදුයි. අපි ආර්ථික, සමාජීය පීඩනයන්ගෙන් මිරිකිලා ඉන්නේ. ඒ පීඩනය තියාගෙන කවි ලියන්න නෙවෙයි හිතන්න වත් හිත්ට නිදහසක් නැති වෙලා. ඒකාකාරී ජීවිතයක් ගත කරන්න වෙලා. කළමනාකරණය කරගෙන පොතක් කරත් ඊළඟට එන ප්‍රශ්නෙ තමයි මුද්‍රණය කරලා පබ්ලිශ් කරන්න අතට මුදල් ඕනේ. එතනදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අසරණයි. මම මේ කතා කරන්නේ අපේ සමස්ත ගැන.

ඔබ කිව්වා වගේම එහෙම දහසක් තමන් ලියපු කවි, කතා තමන් ගාවම තියාගෙන ඇති. ඒක වෙනස් විය යුතු දෙයක් ඔවුන් වෙනුවෙන් කතා කරන්නට ඔවුන්ට සරණක් වෙන්න පිරිසක් ඉන්නම ඕනෙ.

ඔව් , මෙතනදි මතක් කරන්න ඕනෙ මේ අවස්ථාව මට ලබල දුන්නට ස්තූතියි. හේතුවක් තියෙනවා
සන්නස කියන්නේ විශ්වවිද්‍යාල ලේඛක ලේඛිකාවන්ට පෙරට එන්න හදන තෝතැන්නක්.

බොහොම ස්තූතියි අපි නිහතමානීව සතුටු වෙනවා ඒ සම්බන්ධයෙන්. ඔබ සාහිත්‍යට අමතරව සමාජ ක්‍රියාකාරිකයෙක් ඔබ,

ඒක මෙහෙමයි අපි එකතු වෙලා පරිසර සංවිධානයක් හැදුවා. ලංකාවේ වද වෙලා යන ඒක දේශීය ශාක එකතු කරලා කෘතීම වනාන්තර 9ක් පළාත් 9ට වගේම එහි ප්‍රධානම වනාන්තරය නුවර හදන්නයි සැලසුම් කරේ.

GO Green Generation – zero plastic ශ්‍රී පාද ගමන
සංවිධානය කරා. අපි සිරි පා වැද එහි එන පිරිස් ගිහින් දමන ප්ලාස්ටික් එකතු කර ලොකු සමාජ ආගමික සත්කාරක් බැති සිතින් සිදු කරා.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජනතා දැනුවත්කිරීම සඳහා සම්න්ත්‍රණයක් මා විසින් සංවිධානය කරා.

ඉතින් අලුත් පොතකින් අපිව මුණ ගැහෙනවා යලිත් කියන්නේ ඇත්තක්ද? ඒ පොත ගැනත් කිව්වෙත්

ඔව් අලුත් නිර්මාණයක් කරමින් යනවා. ඒ කවි නොවෙන්න පුළුවන්. ඒ වෙනස්ම විදිහකින් සමාජයට කරන ආමාන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. අපි බලමු නුදුරේදීම.

කවියෙක්ට පුළුවන් ස්වයංව පර්යේෂණ වල නියැලෙන්න. ඔබ එවන් අයෙක්,

ඔව් සාහිත්‍යයට අමතරව මම පර්යේෂණ වල නියැලෙනවා. සමාජ විද්‍යව, ඉස්ලාමීය බැංකුකරණය හා මූල්‍යකරණය ආදි පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලෙනවා.

ඉතින් අවසානයට මේ සමාජයට කියන්නට යමක් ඇති,

තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. අපි ප්‍රශ්න අතර හිර වෙලා කලාවෙන් ඈත් වෙනවා. වේගෙන් දුවන ගමනක් මේක. ඒත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන් අනාගත පරපුර ජංගම දුරකතනයට, මුදල් පසු පසම යන්නට ගියොත් කලාව මෙතනින් සමු ගනීවි.

කලාව ජීවිතේ කොටසසක් කරගන්න. එතකොට අපිට අදට වඩා හොඳ අනාගතක් හදාගන්න පුළුවන්.

ඉතින්, කවි හිතකින් සමුගන්න මත්තෙන් ඔබට මේ සමාජයේ උතුම් මිනිසත්කම් සපිරි කවියෙක්, සමජය වෙනුවෙන් හෙට ගොඩ නගන ලෝකයට සමාජ ක්‍රියාකරුවෙක් වෙන්නට ඔබේ හීන සාර්ථක වෙන්න්ට සුබ පැතුම්.

ස්තූතිය , මේ ගෙවෙන්නෙ කලාව සමාජයට ඕනෙම කාලයක්. ඒකට උර දෙන සන්නස ඔබට දවසක විදින්න පුළුවන් අනාගත පරපුරට කලාකරුවෝ හදුන්වා දීපු ආත්ම තෘප්තිය. ස්තූතියි. ආයුබෝවන්.

චලනි යාපා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required