
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරියා වහාම දිවයිනට කැඳවීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බවයි වාර්තාවන්නේ.
රැකියාවක් සඳහා එරටට ගිය තමන්ට මොහු විසින් ලිංගික අතවර කිරීමට තැත් කළ බවට කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුවයි ඔහුව යළි මෙරටට කැඳවීමට තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකර ඇති අතර, එමඟින්ද ඊට අදාළ කරුණු තහවුරු වී තිබෙනවා.
මේ අතර සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා කාන්තාවන් යැවීම අද සිට අත්හිටුවා තිබෙනවා.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෘහ සේවයට කාන්තාවන් රැගෙන යාම අද සිට අත්හිටුවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රැකියා නියෝජිත ආයතන වෙත දැනුම්දී ඇත්තේ.
ගෘහසේවයට රැගෙන යන බව පවසමින් සංචාරක වීසා මත යවන ලද කාන්තාවන් ඕමානයේදී ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කරගැනීමත් සමඟයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඕමානයට ගොස් කළ පරීක්ෂණයේදී මෙරට කාන්තාවන් 45 දෙනෙකු පමණ මෙලෙස ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන මෙම තරුණියන් සහ කාන්තාවන් සංචාරක වීසා මත රැගෙන ගොස් අනතුරුව එරට රැකියා නියෝජිත ආයතනයේදී පෙළට තබා වයස සහ බාහිර පෙනුම මත ලිංගික කටයුතු සඳහා මෙලෙස අලෙවි කර තිබෙනවා.