/
/
title icon තිලිණිගේ වංචා රුපියල් බිලියනය ඉක්මවන බව රහස් පොලීසිය අධිකරණයට කියයි.
තිලිණිගේ වංචා රුපියල් බිලියනය ඉක්මවන බව රහස් පොලීසිය අධිකරණයට කියයි.
Editor
1 year ago
Share:
තිලිණිගේ වංචා රුපියල් බිලියනය ඉක්මවන බව රහස් පොලීසිය අධිකරණයට කියයි.

තිලිණි ප්‍රියමාලි විසින් විවිධ ආයෝජනයන් සිදුකර රුපියල් බිලියන 1 යි දශම 3 කට අධික මුදලක් වංචා කර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා. ඒ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ හමුවේ මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

රුපියල් මිලියන 226 ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව ඇතුළු නඩු 9ක් විවෘත අධිකරණයේදී ඊයේ කැඳවනු ලැබුවා.

එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ තිලිණි ප්‍රියමාලි, ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ ජානකී සිරිවර්ධන නමැති කාන්තාව ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

කොළඹ අවට පිහිටි විශේෂිත මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් සහ තවත් ස්ථානවලින් රුපියල් කෝටි 4 කට අධික මුදලක් තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තා ඩොලර්වලට මාරු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

එමෙන්ම තිලිණි ප්‍රියමාලිට ජාතික හැ`දුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් පවතින බවට ද විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මේ අතර, තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාරට අයත් තිකෝ කන්ස්ට‍්‍රක්ෂන් අධ්‍යක්ෂක කසුන් පෙරේරා භාරයේ තිබූ රුපියල් ලක්ෂ 340 ක් වටිනා සුපිරි මෝටර් රථය ද අද අධිකරණය භාරයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙසටයි.

එමෙන්ම, ජානකී සිිරිවර්ධන සහ තිලිණි ප්‍රියමාලි යන දෙදෙනාට අයත් හඬපට ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

එහිදී සැකකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයින්ට අගතියක් වන ලෙස හඬපට ගණනාවක් මාධ්‍යයට ඉදිරිපත් වී ඇති බවයි.

එලෙස හඬපට මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම, ආයෝජනය කිරීම සඳහා යැයි පවසමින් රුපියල් කෝටි 300 කට අධික මුදලක් වංචා කළ බව කියන නාවල පාර – කෝට්ටේ පිහිටි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණයට දැනුම් දුන්නේ මහබැංකුවේ ලියාපදිංචියක් නොමැතිව පුද්ගලයින් 500 දෙනෙකුගෙන් පමණ මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි.

මෙම ආයතනයේ හිමිකරු බව කියන පොළොන්නරුව නවනගරය ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required