/
/
title icon තිලිණි ප්‍රියමාලි අදත් බන්ධනාගාර විනිශ්චය මඩුල්ල හමුවට – බෙන්ස් ගනුදෙනුවට රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකුත් රිමාන්ඩ්.
තිලිණි ප්‍රියමාලි අදත් බන්ධනාගාර විනිශ්චය මඩුල්ල හමුවට – බෙන්ස් ගනුදෙනුවට රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකුත් රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
තිලිණි ප්‍රියමාලි අදත් බන්ධනාගාර විනිශ්චය මඩුල්ල හමුවට – බෙන්ස් ගනුදෙනුවට රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකුත් රිමාන්ඩ්.

මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමග එක්ව රුපියල් ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් අලෙවි කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ආයතනයක හිමිකරුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුගේ නමට අදාළ මෝටර් රථය ලියාපදිංචි කර, අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

හිමිකරු විසින් කේ.ඩබ්ලිව්. 4088 දරණ ඊ – 250 වර්ගයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2021 වසරේ ජුලි මස 10 වනදා ෂැංග්‍රිලා හෝටලයේදී වාහනයට අදාළ සියලූ ලියකියවිලි සමග තිලිණි ප්‍රියමාලිට භාරදී ඇති අතර එම අවස්ථාවේ ඔහු ද එම ස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

පනාගොඩ ප‍්‍රදේශයේ පදිංචි වාහනයේ හිමිකරු සිදුකළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබුණා. පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ සැකකරු තිලිණි ප්‍රියමාලි සමග එක්ව මෙම මුදල් වංචා කර ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සැකකරු අදාළ මෝටර් රථය අලෙවි කර ලබා ගත් මුදල් ඔහුගේ රූපලාවන්‍ය ආයතනයේදී තිළිණි ප්‍රියමාලිට ලබාදී ඇති බවයි.

එමෙන්ම, සැකකරුගේ බිරිඳ ස්නායු ආබාධයකින් පෙලෙන අතර, එම කරුණු සැලකිල්ලට ගෙන සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ සැකකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර, තිලිණි ප්‍රියමාලි අද යළිත් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබුණා. ඒ ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලබන 30 වනදා බන්ධනාගාරයට පැමිණ ඇයගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා අවසර ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required