
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව ගොනුකළ පෙත්සම ලබන ජනවාරි 26 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
ඒ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.
පෙත්සම් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා සහ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය හදිසි නඩු කටයුත්තක් ලෙස සලකා කඩිනමින් විභාග කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අදාළ විරෝධතා තිබේ නම් ජනවාරි මස 13 වනදාට පෙර ගොනුකරන ලෙස ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළා.
පෙත්සම ඉදිරිපත් කර ඇති ඕෂල හේරත් එහිදී කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවයි.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 13 දක්වා කල් ලබාදී තිබෙනවා.
ඒ, ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.
මෙම අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිටියා. ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු මොහුට විරුද්ධව එම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.